අවිස්සාවේල්ල ටවුම හරියෙම හිටපු කොල්ලෙක් ගැන. මෑන්ස් ඇවිත් ගමේ කව්රුත් වගේ දන්න කියන පොරක්. අඩුම තරමේ නම ගම දන්නේ නැතත් මුහුණුවර හරි දන්නව. පොර කාලෙකට ඉස්සර නම් පොඩ්ඩක්වත් බැගී දාන්නේ නැතුව අළුත් ටී-ශර්ට් ගහගෙන කෙල්ලො පස්සේ ගියපු හැටිත් මට නම් මතකයි. ඒත් කාටවත් වාතයක් වෙච්ච ඩයල් එකක් නෙමේ. ඒ දවස්වල කෙල්ලො පස්සේ ගියාට මොකද පස්සෙ ජෙන්ටල් මෑන්ස් උනා. ගෙදරින් පිට නැවතිලා ජොබක් කරගෙන ටික කලක් යනකොට ඕනිම කොල්ලෙක් පොඩ්ඩක් වෙනස් වෙන එක හැටියක්.
ඉතින් මේ අපේ කතා නායකයා ගමේ ඇවිත් කරගත්ත කචල් සිද්දියක් කියන්න යන්නේ.
මේක උනේ පොර නිවාඩුවට ගමේ ඇවිත් ඉන්නකොට. අවිස්සාවේල්ල ටවුන් එකේ පොරගෙ යාළුවො කට්ටියකුත් ඉන්න හන්ද මෑන්ස් ගිහින් ටවුමට. පරණ ආගිය තොරතුරු කතා කරල ගෙදරට බඩු ටිකකුත් අරන් යන්න හදනකොට යාළුවෙක්...
"මචන්, හිටහන් පොඩ්ඩක්. උබ ගෙදරනේද යන්නේ. මාත් එනව,,, යමන් මගේ බයික් එකේ"

දන්නවනේ අපේ පොලිසිය. රාලහාමිලට දිවැස් තියනවලුනේ.
කරුමේ කියන්නෙ මේ වෙලාවේම ඕ.අයි.සී බුවාත් පොලිස් බයිසිකලයක නැගල ටවුම පැත්තට ආව. මේ ඕ.අයි.සී රා-හාමි ටිකක් දරුණු පොරක්. පොරව මෙල්ල කරන භාණ්ඩේ මොණර කොළ විතරයි. එතුමාට පිං සිද්ද වෙන්න ඔය ටිකේ කසිප්පු කාරයොයි, කුඩු විකුණපු එවුනුයි රජා කරගෙන හිටියෙ. ඔයිට අමතරව මෙයා රා-හාමිලා කරන ඉතුරු බලු වැඩ ටිකත් ජයටම කරගෙන ගියා.
"කවුද යකෝ මගෙ වැයික්කියේ හෙල්මට් නොදාන xxx.. නවත්තපන්"හෙල්මට් නොදා යන එක වරදක්නෙ.වැරැද්ද වැරැද්දමයි,,, යාළුවො දෙන්න බයික් එක නැවැත්තුව.
"මචන්, දඩ කොළයක් දුන්නොත් අරගෙන එන්නම්. උබ පොඩ්ඩක් ඔහොම ඉදින්කෝ" යාළුවාත් ඕ.අයි.සී ගෙ හැටි දන්න හින්ද අපේ කතා නායකයව එහෙමම තියල තනියම ඕ.අයි.සී ලගට ගිහින්.ඕ.අයි.සී:- මොකද හුxx, තෝ විතරක් ආවේ. තොපි දෙන්නටම මම කතා කලේ.
යාළුවා:- අනේ සොරි සර්, මම ගිහින් එක්කගෙන එන්නම් පොඩ්ඩක් ඉන්න
ඕ.අයි.සී:- නෑ තොපේ ගජයට එන්න බැරි හින්දනෙ ආවේ නැත්තේ... මම ගිහින් බලන්නම් උගේ අන්ඩක් අඩුද කියල.
ඔන්න ඔහොම කියල අර අපේ බයිසිකලේ හිටපු හෙල්මට් නැති කොළුවා ලගට ගිහින්,,,
"මොකද යකෝ කතා කලාම පොන්xxක් වගේ ඉන්නේ" කියල හොදට අත දිග ඇරලා කන පැලෙන්න තරමේ එකක් දුන්න.මම දන්නා විදියට වැරදි ඇල්ලුවට හැම වැරැද්දටම දඩුවම් දෙන්න පොලිසියට අයිතියක් නෑ. හෙල්මට් නැතුව ගියා කියල කනට ගහන්නත් බෑ. ඒ තියා මිනිස්සුන්ට කුණු හරපෙන් බනින්න අයිතියකුත්නෑ. ගුටිකාල ජන සංසදයට කියල මහ ලොකු තේරුමකුත් නෑ.
කොහොම උනත් සිද්ද උනේ ඕ.අයි.සී නොහිතපු දෙයක්.
අපේ මෑන්ට තද උනා. "යකෝ මේක යකාගේ පොලිසියක්නේ". ඕ.අයි.සී ට වැදුනේ පයින්. නිකන් නෙමේ කාණුවට විසික් වෙන්නම ගැහුවා. පොලිසිය ඉස්සරහම වගේ ඕ.අයි.සී ට ලෙලි යනකම් වැදුනා.
ඔන්න ඔහොමයි අපේ යාළුවා මුලින්ම අවිස්සාවේල්ලේ වීරයෙක් උනේ. ඕ.අයි.සී පස්සෙ වලි දාන්න හැදුවත් හරි ගියේ නෑ. අන්තිමට දෙවියනේ කියල ඕ.අයි.සී ම ට්රාන්සර් එකක් හදා ගත්තලු.
අවිස්සාවේල්ලෙ අපේ කාලේ වීරයාගේ (රාජසිංහ රජතුමා ඒ කාලේ) ගමේ කතාව තමා ඕක. කොහොම උනත් අවාසනාවට අපේ ගමේ තරුණ වීරයා නම් දැනට ජීවතුන් අතර නෑ. නමුත් කව්රු හරි කොළඹ පැත්තේ ඉදන් අවිස්සාවේල්ල ටවුමට එනවා නම් ඔහුව තවමත් දකින්න පුළුවන්..
ඔව්,, ඔහු නමින් ලලිත් ජයසිංහ. තවත් පූර්ණව කිවහොත් දිගු දුර මෙහෙයුම් බළකාය වෙනුවෙන් ජීවිතය කැප කල උසස්ම නිලධාරියා වන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ (පරම වීර විභූෂණ).
නිවටුන් කැනහිලුන් ගුණ මකුවන් සහ බල ලෝභීන් රජයන ලොව,,,,,,,, ඔබ ලක් දෙරණේ නියම රණ-විරුවෙක්ය... හිත හොඳ කොල්ලෙක්ය....