Monday, December 31, 2012

කලර්ෆුල් අව්රුද්දක්,,,

එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ.  එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ.


වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර.
ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට ජොලි කරන රට කියල බ්ලොග් වලයි, තව තව මීඩියා වල තිබ්බ කස්ටිය දකින්න ඇති.
එහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!

Saturday, December 15, 2012

"දිස් ඉස් යුවර් ලීඩර් ඇන්ඩ් දිස් ඉස් අවර් ලීඩර්"

 ඒ දෙදහස් හතර වර්ෂයයි. එනම් රනිලුත් ප්‍රභාත් සාම සාකච්චා කල අවධියයි. එකල දකුණේ අපිට උතුරට යන්නටත් උතුරේ ඔවුන්ට දකුණට එන්නටත් යම් හැකියාවක් ලැබුණි. ඔය අවසරයෙන් අපිත් යාපනය සහ මඩකලපු විශ්ව විද්‍යාල වලට චාරිකාවක් සංවිධානය කර ගතිමු.
මා එතෙක් සිතාගෙන සිටියේ යාපනය පාලනය කලේ රජය බවයි. ඔව්, එය ඇත්ත. නමුත් යාපනය වි.වි පාලනය කලේ ප්‍රභාකරන් ගැන්සියයි. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලටවත්ම පිහිටියේ කොටින්ගේ නීති පද්ධතිය සදහන් පලකයක්. ශාලාවේ ඉහල සවිකර තිබ්බේ ප්‍රභාගේ ඡයාරුපයක්. එදාත් ප්‍රභාගේ රුව පාමුල බෝතල් එකිනෙක හිස් විය. නමුත් "උබලාට පඩි ගෙවන්නේ අරූද" යන්න අසන්නට තරම් ගටක්‌ එදා ඇති නොවීය. අස්ථානයේ ඇත්ත නොකිව යුතුය. එහෙත් ප්‍රභාගේත් රනිල්ගෙත් රුව ඇතුලත් ඔරලෝසුවක් දැක පදම් වූ අපේ එකෙක් ඇස් ලොකු කර බලා සිටින විට එහේ එකෙක් කීවේ. "දිස් ඉස් යුවර් ලීඩර් ඇන්ඩ් දිස් ඉස් අවර් ලීඩර්" ලෙසය.
යාපනයේ දමිළයන් උගත් කම අගය කරති. ගරු කරති. අපි වි. විද්‍යාලයෙන් යයි දැනගත් කල කොටි ප්‍රාදේශීය නායකයන් තම පුටුවෙන් නැගිට කතා කරන තරම් විය. මුර කපොළු වලින් සෝදිසි කිරීම් කලෙත් නැත.
කෙසේ වෙතත් අපි එදා ඇති පදම් කෑවෙමු. බිව්වෙමු. ආපහු බිව්වෙමු. නැවතත් එහි යන්නට සිත් විය. ආගන්තුක සත්කාරයට ස්තුති කරමින් අපි යාපනයෙන් සමුදී  මඩකලපුවටත් ගියෙමු.
මඩකළපුව බහුතරය මුස්ලිම්ය විය යුතුය. එනම් යාපනය කෙසේ වෙතත් මඩකපුව එදා ඉදන් අපේ විය යුතුයි  කියා සිතුවෙමු. එම සිතිවිල්ලත් අතහැරුනේ විශ්ව විද්‍යාල ගේට්ටුව ළගින් ඇතුළු වෙනවාත් සමගයි. එක අතකට යාපනය හොදය. දකුණු පැත්තේ ප්‍රභාගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවකි. විදුලියෙන් ආලෝකයද ලබා දී ඇත. එනම් වි. විද්‍යාලයට ඇතුළුවන දරුවන් දෙස ප්‍රභා බලාගෙන සිටියි. ඇත්තටම මට දුක සිතුනි. ප්‍රභාගේ පිළිරුවට නොව, ඔව්න්ගේ ලීඩර් කැම්පස් දෙස බලා සිටියත් අපේ ලීඩර් වි. විද්‍යාල දෙස නෙතු යොමන්නේ නැති බැවිනි. එක අතකට අපේ ලීඩර්ලාගේ පිළිම තියා පස් පාගන්න හෝ එන්නේවත් නැත්නම් ලොකු උදව්වකි. ආවොත් මොකක් හෝ විජ්ජුම්බරයකි.
එදා ගියායින් පසුව නැවත යාපනයේ මිතුරන් සොයා යන්නට නොහැකි විය. නමුත් එක්තරා සංගමයක් මගින් පවත්වන්නට යෙදුනු වැඩසටහනක් පසුගිය සතියේ යාපනය වි.විද්‍යාලයේ පැවැත්වෙන්නට නියමිතව තිබිණි. එම සංගමය "SLAAS" නොහොත් "Sri Lanka Association for the Advancement of Science"  ලෙස හදුන්වයි.
මෙය ගැනත් පොඩියට හෝ සදහන් කිරීම වටී යයි සිතේ. ලංකාවේ බොහෝ විද්‍යාර්ථයින් මෙම සංගමයේ සාමාජිකයන් වන අතර ඔවුන්ගේ සොයා ගැනීම්, නිපැයුම්, නව අදහස් මේ මගින් එළි දැක්වේ. විවිධ විෂයන් හතක් යටතේ වර්ගීකරණය කර ඇති අතර, අදාළ සුදුසු  කාණ්ඩයට තමුන්ගේ ලිපිය යොමු කල හැක. එය පිළිගත හැකිනම් ඒ පිළිබද අනෙක් ප්‍රාමානික පුද්ගලයන් දැනුවත් කිරීමටත් ඔව්න්ට ගැටළු විචාරීමටත් අවස්ථාවක් ලබා දී අදාල සොයා ගැනීම ලෝකයට හදුන්වාදෙයි . නමුත් බ්ලොග් අවකාශයේ හෝ වෙනයම් මාධ්‍යක මේ සදහා වැදගත් තැනක් දෙනවා කවරදාකවත්ම දැක නැත. මෙහාට ඔව්වා වැඩක් නැති උනත් යාපනයට නම් වැඩක් ඇති බව අපි හොදාකාරවම දැන සිටියෙමු. ශාලා පිරෙන්නට සෙනගත්, එමෙන්ම යොමුවන ගැටලු වලටත් මුහුණ දිය යුතුය. එනයින්ම ඒවා ඉදිරිපත් කරන්නන් වඩාත් සුදානම් වුවාට සැක නැත.

කෙසේ හෝ අවසාන සතියේ යාපනය වි.විද්‍යාලයේ අව්ලක් ඇති විය. මහ-විරු දිනයට එකෙක් කොඩියක් උස්සනට ගොස් ඇත. යාපනයේ සියල්ලම අවලංගුය. කෝකටත් තෛලය ලෙස  තවමත් කොළඹ වැජඹේ. අවසානයේ අතේ ඇගිලි ගන්නට අඩුවෙන් සාමාජිකයින් සිටි, ප්‍රශ්න කිසිත් නැති, නීරස  ෂෝට් ඊට්ස් වලින් වැඩ අහවර විය.
යාපනයට "SLAAS" අහිමි විය. කොල්ලන්ට දැනුම අහිමි විය. අපට හෙන ට්‍රිපක් අහිමි විය.

අහිමි වූ දේ ගැන පසු තැවිලි වී පලක් නැත. "අප්පමාදේන සම්පාදේථ" විය යුතුය. රේසින් කාර් නිකන් දුන්නත් පලක් වේද. පැට්රොල් ගණන් ගිය නිසා නැවත කාර් රේස් නොතියෙන්නට බැරි නැත. අද නම් කෙසේවත් මගහැරගත යුතු නැත. කොළඹ හතේ පොෂ් කෑලි බලාගෙන, බඩගින්නට ගෝල්ෆේස් හුළං බී, පරක්කුවී ගෙදර එන්නට, ප්‍රස්ථාවකි. ලැම්බෝගිනි රේස් අද ඇත.

  ජය වේවා,,,

Monday, October 29, 2012

බක පඬියෝගේත් යමක් තිබේද,,

අපේ සමාජයේ එක එක පණ්ඩිතයෝ සිටිති. ඔයිනුදු බක පඬියෝත් සිටිති. ටී.වී පෙට්ටියේ මූණ දාගන්නා බකයන් ගොඩට ලගදී සිට වැටුනේ නලින් ද සිල්වායි. ටෝක් දෙන්නේ සිංහලය කාපු පොරක් සේය. නමුත් නමත් "ද සිල්වා"යි.

උන්නැහේට රජයේ මාද්දියේ දොර ඇරුනේ ජෙනරාල් තුමා ජන්දය ඉල්ලපු වාරේ අයි.ටී.එන් එකේ ජෙනරාල් යනු අන්තිම තුප්පහි, අවජාතක, ජඩයෙක් යැයි කියූ නිසායි. වැරදිලා හෝ ජෙනරාල්ට සපෝට් කළා නම් ඇපත් නැත. කළු කොඩි උස්සා කොළඹින් යන්නට වීමෙන් රජයට එරෙහි වීමේ විපාක ෆොන්සේකාට කලින් නලීන් සිටියේ ප්‍රත්‍යක්ෂ කරගෙනයි. නමුත් ඕවායින් රාජපක්ෂලාට කඩේ යන්නෙකු සේ තමුන්ගේ නිරුවත පේන බව නලීන්ට නොපෙනෙන්නේ ඔහුත් තණකොළකා පුන්නක්කු බොන්නෙකු නොබොන්නෙකු නොවන බව මොනවට ඔප්පු කරවමිනි. ඔය ලියවුනේ මගේ පුද්ගලික අදහස්. පාඨකයින් එකග නොවෙනවා වෙන්නට පුළුවන්.
ඒවා කෙසේ වෙතත් සමහර විට කව්රුත් එළිපිට නොකියන දේ  ඔහු කියන අවස්ථාත් ඇත.

ඉන් එකක් නම් ළමා අපයෝජනයට අත්අඩන්ගුවට ගත් සිස්ටර් වෙනුවෙන් සිදුවූ සිද්දිය. මෙහිදී ඇතටම අපයෝජනයක් සිදුවිනිද නැද්ද යන්න වෙනම කාරණාවකි. නමුත් එම සිද්දිය ගලාගෙන ගිය ආකාරය වැරදි නොවේද.
තවත් ඔහු මතු කරන සිද්දියක් නම් මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, කොටින්ට උදව් කලත් අදත් කොළඹ විත් සිරකරුවනුත් බලා මන්නාරම යයි. නමුත් ජේ.වී.පී යට උදව් කල හාමුදුරුවෝ කී දෙනෙකුට හොදින් ඉන්න පුළුවන් උනාද යන්න වගයි.

මම ඔය ප්‍රශ්නය දකින්නේ නලීන් උන්නැහේ දකිනවාට වඩා බොහෝ වෙනස් විදියකට. බටහිර විද්‍යාව යනු වෙනමම ගමනක් යන දෙයක්. එය තර්ක විතර්ක මැද වඩාත් පිළිගත් සත්‍යක් සොයා යනවා මිස කිසිසේත්ම නිරපේක්ෂ සත්‍ය නොවේ. නමුත් එය නිරපේක්ෂ සත්‍ය නොවේ යැයි කියමින් ලෙඩක් උන විට බේතක් හේතක් ගන්නට දොස්තර ගාවට නොයනවා නම් ඔහුට "මී හරකා" කීම මී හරකාටත් කරනා අගෞරවයකි. පොර ටෝක් දුන්නාට බරපතල ලෙඩක් හැදුන විට නලීන් ගොයියා යන්නේත් බටහිර දොස්තර ගාවට මිස ගමේ වෙදමහත්තයා ගාවට නොවන බව කව්රුත් දැනගත යුතු දෙයක්.
වෙනත් ආගම් සංස්කෘති`අපිව  පාගා දමනවාට වඩා අපි අපි විසින්ම පහත් තත්වයට වට්ටවා ගෙන ඇතය යන්න මගේ අදහසයි. ක්‍රිස්තියානි ආධිපත්‍යය හෝ දෙමළ ජාතිවාදය කියා අපේ ගොන් කම් සාධාරණ කල නොහැකියි.
නමුත් කව්රු කොහොම එකම ප්‍රශ්නය විවිධ විදියට දැක්කත් හේතු හෙව්වත් අද අපේ රටේ එදා තිබුණු පන්සලත් එක්ක බැදීම දකින්නට අඩුයි. හාමුදුරුවරුන්ට ඇති සැලකිල්ලත් අඩුයි. මා කියන්නනේ සමස්තයක් ලෙස.
කොටින්ම ඉස්සර රජවරු ඕනිම සාමනේර කෙනෙකුට උනත් දන ගහල වැන්දට දැන් මහ-රජ තියා මන්තිරි කෙනෙක් උනත් මල්වතු අස්ගිරි ලොකු හාමුදුරුවන්ට විතරයි දන ගහල වදින්නෙ.නැත්නම් හාමුදුරුවො මතක් වෙන්නෙත් පාංශුකූලෙටයි දානේටයි විතරයි.

පෝය දවසේ මෙහෙම කතාවක් දාන්න හිතුනේ නලීන් උන්නැහේගේ කතා තියන තවත් බ්ලොග් එකක් දැකල. සින්ඩි වල ඒ පොස්ටුවත් තියනව. ඔන්න කතාවේ අදාළ කොටස තියන තැනට ලින්කුව.

කැමති නම් ඔබත් අහන්න(සියල්ලම හෝ 15 min පසුව හෝ 23 min පසුව). මම නම් එයට සීයට සීයක් කොහොමටවත් එකග නැතත් ගතයුතු යමක් නැතිවා නොවන බව අදහසයි.


Friday, October 26, 2012

සියල්ලම ඇතිවීමට පෙර,,,

අනෙක් බොහෝ දේ අමතකවූ දවසක, නිසසල නිස්කලංක රාති‍්‍රයක් ගෙවන විට පැහැදිළි අහසක් ඔබත් දැක තිබෙනවාද? ඔව් එහි තරු බොහෝ ගණනකි. සදත් පායා තිබෙන්නට හැකියි. එහි ඇති චමත්කාරයෙන් ඔබ්බට යමක් සිතන්නට විවෘත මනසක් අපිට හිමිද.

සඳ යනු කුමක්ද, තරු යනු මොනවාද, මෙහි අවසානයක් පවතීද. කෙනෙකුට මේවා හරහා යා හැකි නම් ඉවර වන්නේ කොතනින්ද. මේවා හැදුනේ කොහොමද, කවදාද, කුමක් සදහාද???? නිමක් නැති ගැටළු පෙළක් ආරම්භ වේවි.
අතීතයක් පුරාවටද අනාගතයේද සෑම මිනිස් සමාජයකම මේ ගැටළු පැවතුනා. ඔබත් මමත් එහි මුල් පුරුක නොවෙනවා මෙන්ම අවසන් පුරුකද නොවෙනු ඇත. එසේම ඒ ඒ සමාජ තලයන් සහ කාලයන් වල විවිධ පිළිතුරු මේ තේරුම් ගත නොහැකි ගැටළු වලට සම්මත කරගත්තා. දිව්‍ය බලයක් හෝ එවැනි බලයක් විසින් මේ සියල්ල මැව්වා හෝ ඇති කළා යන්න අතීත ඉන්දියානුවන්ගේ පටන් වර්ථමාන මිනිසා විසිනුත් සම්මත කරගෙන ඇති එක් අදහසක්. තවත් විටෙක එය තේරුම් ගත නොහැකි, තේරුම් ගැනීමට උත්සාහ නොකළ යුතු දෙයක් ලෙසද අර්ථ දක්වන්නට යෙදුනා. මිනිසා ආගමකින් සොයන්නට වෙහෙසුනේත් මෙවැනි විසදිය නොහැකි ගැටළු වලට සාර්ථක අර්ථය දැක්වීම්.

එමෙන්ම විද්‍යාවටත් මේ ගැටළු පිළිබද එයටම අනන්‍ය වූ කතාවක් තියනව.

එහිත් මේ විශ්වය හැදුනේ මෙහෙමයි යන්න පැහැදිළි කිරීමට උත්සාහ දරා තිබෙනවා.
නමුත් මේ විද්‍යාවේ කතාවත්, ආගමික හා ප්‍රබන්ධ  කතාත් අතර දැනෙන වෙනසක් හදුනා ගන්න පුළුවන්. එනම් ඕනෑම කෙනෙකුට මෙය පරික්ෂා කර බලන්නටත් එය අභියෝගයට ලක් කරන්ටත්  අවස්ථාවක් තිබීමත්  අභියෝග සහ අළුත් අදහස් දිරිගැන්වීමත් යන කාරණායි.
ඔන්න එහෙනම් ඔය ගැටළුවට ගැන විද්‍යාවේ කියන කතාව ගැන පොඩි සටහනක් අද.

ආරම්භයේදී කිසිවක් තිබී නැත. කාලයක්, අවකාශයක් හෝ ඉඩක් කිසිම දෙයක් නැති හුදු අවසානයක් පමණි. ඉනික්බිති අව්රුදු බිලියන තිහයි දශම හතකට පෙර කිසිම දෙයක් නැතිව තිබුන අවසානයෙන් සියල්ලම ඇතිවීම ආරම්භ උනා. විශ්වය පිපිරීමක් ඇති උනා එහි ආරම්භයට. ඒ මුල් ප්‍රසාරණයෙන් අවකාශයේ ඉඩක් ගන්නා දෑ හි ප්‍රාථමික ස්කන්ධ ඇති උනා. එයින් ද්විතීක ස්කන්ධ ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් පටන් ගැන්ම සිදුඋනා. සරලම කතාව ඕකයි.
ඉතින් මේ කතාවට පරික්ෂණාත්මක සාක්ෂි සොයා ගැනීමට දරන්නා වූ උත්සාහය තමා මේ ශත වර්ෂයේ මානව විද්‍යා ගවේෂණයේ වැදගත් සංදිස්ථානයක් වන්නේ.

වීශ්වය යනු නිසොල්මනේ පිහිටියාවක්‌ නොවේ. එක ප්‍රසාරණය වන සංකෝචනය වන පරිණාමය වන දෙයකි. එය අනාගතයේදී තවත් වෙනස් වේවි. පටන් ගැන්මේදී තිබු ප්‍රාථමික දෑ එක්වී පරමාණු අනූ සංයෝග හරහා අවසානයේ ග්‍රහලෝක තාරුකා මණ්දාකිණි වැනි අති සංකිර්ණ ක්‍රියා වලියකට දාමයකට එක් පුරුකක  මමත්, කියවන ඔබත්, සියල්ලෝමත් වර්ථමානය නම් යදමින් බැදි සිරකරුවන් වශයෙන් සිටියි.
ඔන්න ඔය සදහන් කල රහස් ගැන හොයන්නටම හදාපු පර්යේෂණාගාරයක් තියනව.
එය නමින් "CERN" (Conseil Européen pour la Recherche Nucléaire/ European Organization for Nuclear Research).
ඇත්තෙන්ම මෙම ආයතනයේ තමයි මේ විශ්ව රහස් සොයන්නට දැනට වැඩිපුරම පහසුකම් තිබෙන්නෙ.  ප්‍රමාණයෙනුත් සෑහෙන ලොකුයි. ඒ විතරක් නොවෙයි, පර්යේෂණාගාරයේ වැඩිපුර කොටස් තියෙන්නෙත් පොළොව යට. ඔය අතර තවත් මතයක් උනේ මෙතැන කරන පර්යේෂණ නිසා එක් වර "කලු කුහර" (black hole- විශ්වයේ තියනවා කියන) වැනි පාලනය කල නොහැකි දේවල් ඇතිවී සමස්ථ පෘතුවියටම බලපෑමක් ඇතිවිය හැකියි යන්න. සත්‍ය වශයෙන්ම එය ප්‍රායෝගිකව කෙසේ වෙතත් සෛද්ධාන්තිකව  සෑහෙන විභවතාවක් ඇති දෙයක්, එක් අතකට එය සාධාරණ චෝදනාවක්.

විශ්වගේ අදුරු අගාධ තුළ ඇති තරම් අඩු උෂ්ණත්වය යොදා ගනිමින් එමෙන්ම  ආලෝකයේ ප්‍රවේග තරම් වේගයෙන් අංශු ත්වරණය කරමින් පර්යේෂණාගාරය තුළ රහසේම කෙරෙන්නේ මොනවාද,, ඒවායේ නිරීක්ෂන, නිගමන සහ අයින්ස්ටයින්ටත් විසදීමට ඉතුරුවූ ගැටළුත් ගැනත් කොටින්ම මිනිසා විශ්වය ගැන කොපමණ දුරකට තේරුම් ගෙන සිටිනවාද යන්න වගත් පිළිබඳව මහා විද්‍යාර්ථයින් නොවන අපට තේරෙන සරල බසින් ලියනා සටහනකින් නොහොත් මෙහි ඉතිරිය සමගින් නැවතත් හමුවෙමු.

Wednesday, October 17, 2012

කාලයෙන් ස්වායත්තව,,,

තප්පරෙන් තප්පරේ ගෙවිල යනව. අපි වයසට ගියත් ලෝකය එන්න එන්නම තරුණ වෙලා. බලන්න දියමන්ති වලින් හැදිච්ච ලෝකයකුත් හොයාගෙනලු. මට නම් ඔයිට වඩා චොකලට් වලින් හැදිච්ච ගඟකුයි, සිනි වලින් හැදිච්ච ගුහාවකුයි වටිනව. මොකෝ චොකලට් ගඟ සීනි ගුහාවෙන් ගිහින් ගිහින් මතුවෙනකොට පෙබල්ස් නැත්නම් ස්මාටීස් බවට හැරෙනවලු. අනෙක් කාරණාව ඔය ලෝකේ තියෙන්නෙ ආලෝක වර්ෂ හතළිහකට එහාලු. මොකක් හරි කොරල ලයිට් එකේ ස්පීඩ් එකෙන් ගියත්, යන්න හතළිහයි, එන්න හතළිහයි. වැඩක් නෑ නොවැ. අසූව පැනල දියමන්ති කන්නද.
ඔය අව් අස්සේ තවත් එහෙක දැක්ක ආලෝකයේ වේගය ඉක්මවෙව්වොත් වයස යන්නෙ නැතුව ඉන්න පුළුවන් කියල සීන් කෝන් එකක්.
හඃ හා ඒක නම් මරු අදහස. නමුත් එතනත් පොඩි පරහක් නැතුවම නොවේ. මොකෝ ඔය සමීකරණ හොයාගත්ත උන්දලම කියල තියන විදියට ආලෝකයේ වේගයට ලං වෙනකොට අදාළ වස්තුවේ ස්කන්ධය වැඩි වෙනවලු. සරලව කීවොත් අදාළ දේ ආලෝකයේ වේගයට සමාන වෙනකොට ඒ දේ අනන්ත සයිස් එකට ලොකු වෙනව.
ඇත්තටම ආලෝකය චිතරක් නොවේ අනෙකුත් තරංග වල වේගය පැරදවිමේදීත් විවිධ සංසිද්ධීන් වලට මූණ පාන්න වෙනව. ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගුවන් යානයක් යෑමේදී සිදුවන්නේත් එයයි. පිටවෙන ද්වනි තරංග වලට කලින් එය ගමන් කරන නිසා පසු පසින් විශාල ශබ්දයක් සහිතව සොනික් බූම් නමැති තරංග අතිපිහිට වීම දැකගත හැකියි.
තවත් එවැනි උදාහරණයක් දක්වනවා නම් ආරෝපිත අංශු ආලෝකයේ වේගය ඉක්මවා යාමේදී ඇතිවෙන දිස්නය දෙන නිල් පැහැයයි.
මහාලොකු උදාහරණ නොමැතිව සරලව දෙයක් ගත්තොත් කස පුපුරන විටත් සිදුවන්නේ කසේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් තරංග අතිපිහිට වීමට සැලැස්වීමයි.

සොනික් බූම් වේවා, චෙරෙන්කොව් වේවා, කස පිපිරීම වේවා, හැම තැනකම වෙන්නෙ එකකට එකක් සාපේක්ෂව වේගය වැඩිවීම. එසේ නම්, වේගයෙන් නොහොත් කාලයෙන් ස්වායත්තව ජීවිතයක් අපිට නැද්ද.
ඇයි නැත්තේ, ථෙරවාදී බුදු දහමට අනුව නම් අපි මළහම ගන්දබ්බ කියල දෙයක් නෑ. එවලේම කාලය ගතවීමකින් තොරවම වෙන කොහේ හෝ ගිහින් ප්‍රතිසන්ධියක් ලබනව. කොටින්ම අපි ආලෝකයේ වේගය පරදවනව.

Sunday, October 7, 2012

හිතුවට එහෙම බෑ,,,

දෙනකොට දෙවියෝ දෙන්නෙ ටොකු ඇන ඇනය. කැරකෙන විට වැල්ලෙත් බමරේ කැරකේය. වැටුනෙත් ලේසිම රටවල් ටිකය. ඉන්දියාවත් කැපුනිය. ඔස්ට්‍රේලියාවත් කැපුනිය. අඩුම දකුණු අප්‍රිකාවත් නැතිය. ග්‍රව්න්ඩ් එකත් අපේය. පිච් එකත් අපේය. මැච් එකත් අපේය. ටොස්‌  දිගටම ලොස් වන විට මැච් හිට් වන්නෙත් අපිටමය. අම්පයර් ඇද්දෙත් අපිටමය. සරලව සංශිප්තව මැච් එක දිනන්ට තිබ්බේ අපිය.

ඒත්,,,,,


ගත්තට Gayle ගේ කඩුල්ල කඩිමුඩියේ
දැමුවට දඟ දමා පන්දුව හරි හරියේ
හිතුවට එහෙම බෑ දිනුමට තකහනියේ
අයියෝ රජතුමා ඇත අද පිට්ටනියේ

දැකපු ගමන් මටනම් හිතුන සත්තයි... !

වැඩේ වෙන්නට ඉස්සර ඇල්කෙමියා වැඳ වැඳ කියලත් ඇහුවෙ නෑ නොවැ.


කවිය උපුටා ගැනීම මූණු පොතෙන්.

Saturday, September 29, 2012

උන්ට දැනෙන අපිට නොදැනෙන,,

ඉන්දියාව අපිට වඩා දියුණුය. පාකිස්තානය අපිට වඩා දියුණුය. අව්රුදු තිහ හතළිහකට එහා ඔය දෙකම චාටර් රටවල් දෙකකි. මැලේසියාව දියුණු උනේ කොළඹ බලාගෙනය. තව ටික කලකින් සෝමලියාවෙන් අපට ආධාර එවන්නත් බැරි නැත.
මැතිනියගේ හාල් පොලු, මිරිස් පොලු වලට ගේම දී, නිකන් දෙන ඇට අටක් බලාගෙන දුන් චන්දයයෙන් මුලින්ම ලාංකිකයෝ අනාගත්තෝය. එහෙම අනාගත්තත් ලිං මැඩියන්වූ අපට තේරුමක් තිබ්බේම නැත.
නමුත් අද කාලය වෙනස්ය. කොම්පීටර යුගයයි.
ඒත් ලිං මැඩිකම නායකයන් දක්වා වැඩි උනා මිස අඩු උනේ නැත. එය අපිට නොතේරුණත් උන්ට නම් නොතේරෙන්නට නොහැකියාවක් නැත. මන්ද, රටක් ජාතියක් ලෙස උන් අපට වඩා දියුණුය. ITN විතරක් බලන අපිට නම් අපි තවමත් මේ යන ක්‍රමය නරක නැත.
කතාව මෙතනින් ගිහින් බලන්නකෝ







ඔන්න ගොසිප් වල යන්න කලියෙන් මගේ එකෙන් දැම්ම..... කමෙන්ටු නැතත් වීඩියෝව ශෙයාර් කිරීම වටී.

Friday, September 28, 2012

විදුලිය අරගමු ඩීසල් පුච්චමු,,

දැන් ටික ටික දෙවියනේ කියල වහින හන්ද පවර් කට් එක මතක අපේ චූටි මල්ලිට විතරයිලු. කස්ටිය පොත් තෝරනවා, T-20 බලනවා හෝ ගාල වැඩ. ඒ අස්සෙ අපේ ආචාරියාල මාස තුනක් තිස්සේ පඩි නැතුව වැඩ නැතුව පෙළපාළි.
ඔන්න අසූ නවයෙ නම් කොල්ලො උන්දලව ඇදල අරගත්තෙ. "සර්, සර් සරලත් එන්න ඕනි, සර්ල වෙනුවෙන්  තමයි අපි මේ කරන්නෙ" කීවම එළියට බහින්නම උනා. බැහැල පොස්ටරයකුත් අරගෙන පිට්ටනිය වටේ යන්න උනේ ආසාවටම නෙමේ. ජේවීපී මර බියට. ඉස්සරහින්ම ගියේ ෆැකල්ටි ඩීන්. ඒ කාලේ හිටපු කෙනෙක් නම් අමතක වෙන්න විදියක් නෑ. කොහොම නමුත් අන්තිමට ප්‍රේමදාස උතුමාට ඉල්ලපුව වැඩි හරියක් දෙන්න උනා. කාට අමතක උනත් හොදට යහමින් චේතනයකුත් අනෙක් දීමනාත් දැන් තියන තරමට හෝ මට්ටමකට ගෙන්න ජේවීපී සටන උදව් උනා. ඔයිං පස්සේ තමයි හැම තැනම ස්ට්‍රයික් පටන්ගෙන කචල් ඇවිත් කොල්ලො කුරුට්ටො මැරෙන්න පටන්ගත්තෙ. ඒත් එතකොට ආචාරියලට පඩි වැඩි වෙලා ඉවරයි. හ්ම්ම්ම් ඒ ඉස්සර කතා කස්ටියට අමතකයි නෙව.
කොහොම හරි,,,, ඔයිං මෙයින් චම්පික ඇමැතිටත් නිවන් ගියා වගේ ඇති, ඇයි උන්දැගේ අම්ම මුත්තටත් කිබුහුම් යනව අඩු  ඇති.
ඒත් ඒත්,,,, අපිට ආපහු පායන කාලයක් ආවම එතකොට ඉන්න ඇමතිට බැන බැන ඉන්නවා මිස වෙන කරන්න දේකුත් නෑ.
ඔන්න එහෙනම් කෑම හදන රෙසිපි ගොඩක් දෙනා දන්න දෙකක් නිසා විදුලිය හදන රෙසිපි ටිකක් කියන්න හිතුව.

1) ඔන්න මුල්ම ක්‍රමය.
කස්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ජල විදුලි රෙසිපිය. ඇල්ලක් හරස් කොරල බැම්මක් ගැහුවා, පල්ලේ බලාගාරේ ගැහුවා, වතුර යන්න බටයක් ගැහුවා, ඒ වතුරට කැරකෙන්න ටර්බයින් පෙති සෙට් කළා, බඩු වැඩ, මුල් වියදම විතරයි, මෙහෙන් කරන්ට් එක එනව. ඔහොම සරලව කීවට වැඩේ කරනකොට ටිකක් විතර අමාරුයි. ඕනිම දෙයක් එහෙමනේ. "බානගල" මුලින් හදන්න ගිය බලගාරේ බැම්ම පිපිරුව මතකයි. අනික් කාරණාව ඔය වැඩේට ඇල්ලක් ඕනිම නෑ. හෙඩ් එක හොද නම් වැඩේ ගොඩ. හෙඩ් එක කීවේ හොද බෑවුමක් කියන එකට.
ඔය කාරණා වලට අමතරව පොඩි පොඩි ජල විදුලි බලාගාර හදන එකේ වාසියක් තියනව. මගෙ හිතේ සමහර විදුලිබල නිලධාරීන් දන්නෙත් නැතුව ඇති. ඒ තමයි ඔය හදන විදුලි බලාගාර හන්ද පිටරට කොම්පැනි වලට වක්‍රව හොද ලාබයක් ලැබෙනවා. මෙහේ ඕකක් හැදුවොත් වැඩේ වැටෙන්නේ "ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි" නොහොත් පරිසර හිතකාමී වැඩක් විදියට. ඉතින් ඔය කොම්පැනිය තෙල් හාරන වැඩ, මයිනින් වැඩ කරනව නම් ඒවලට ගහන බද්දෙන් සෑහෙන ගානක් අඩු වෙනවා. ඔන්න වැඩේ හැටි. ජපනා රූපවාහිනියයි, පිදුරුතලාගල විකාෂනාගාරයි නිකංම වගේ හදල දීල, එදා ඉදන් අදටත් හෙටටත් උන් හදන ටී.වී ටික මෙහෙට විකුනන්න පාර හදා ගත්ත. ආය "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" කියන්නෙ නිකන්ද.

2 ) හරි, ඔන්න එහෙනම් අපි හෙන ජීනියස් විදියට විදුලිය හදන අනිත් ප්‍රධාන රෙසිපිය.
මුලින්ම තෙල් ගේනවා පිටරටින්, මෙහේ සුද්ද කරනව. (කම්මැළි නම් එහෙං ගෙන එව්වා උනත් පුළුවන්). ඩීසල් ගන්නව. ඩීසල් ටික පුච්චනව. බොයිලර් රථ කරනව. බොයිලර් වල තියන වතුර රත්වෙලා බොයිල් වෙලා පීඩනය වැඩි වෙනව.  අන්න ඒ එන ප්‍රෙෂර් එකෙන් ටර්බයින් කරකවනවා. අර රත්වෙච්ච වතුරටික ආපහු කූල් කරල රව්මෙන් බොයිලර් වලට යවනව.... ඔන්න ඔහොමයි සීන් කෝන් එක. ඊට පස්සෙ හදන්න රුපියල් සීයක් ගියා නම් රජය රුපියල් පන්සීයකට විතර අරගෙන මහා ජනතාවට රුපියල් අසූවකට විතර දෙනව. ඔන්න අඩුපාඩුවක් නොවෙන්න කියල කොළඹ තියන ඩීසල් පුච්චන තැනක තෙල් ටැංකියක් උඩ ඉදන්ම  ගත්ත පින්තුරයකුත් දැම්ම. කොටි කචල් කාලේ මේ පැත්ත බලන්නත් තහනම්. දැනටත් කිට්ටු වෙන්න ලේසිම නෑ.


දැන් එහෙනම් හුළං බලේ, ගල් අගුරු බලේ ටිකක් චාටර් ඒවත්, උදම් රල, සූරිය කෝෂ වගේ දවල්ට විතරයි රෑට බෑ වගේ කචල් නැති, වෙඩි වගේ විදුලිය ගන්න විදියක් ඇත්තෙම නැද්ද?????. පිටරටවලත් පායන කාලෙට විදුලිය කපනවද කියන්න නම් මම නොදනී. එකත් එකට සලන්හතේ පැත්තේ නම් ෂුවර් නෑ. අදට දිග ඇති. රෑට වැඩිය ඉන්න හොද නෑ විදුලිය ඉතිරි කොරන්ට ඕනි. වෙලාවත් දෙකයි කාලයි (a.m). එහෙනම් වෙඩි වගේ කරන්ට් එක හැමදාම ගන්න සිස්ටම් එක ඊලග ලිපියෙන් බලමු.

Wednesday, August 22, 2012

"සැලීරා" ඔරිජිනල්ද,,,,

ඔස්ට්‍රියාව කියන රට අහල ඇතිනෙ, ඔන්න ඔය රටේ තියන ලෝකෙම ප්‍රසිද්ද නගරයක් තියනව. "වියානා" කියන්න අන්න ඒ නගරෙට. මේ රට සෑහෙන පෝසත් රටක්. මෙහේ අන්තර් ජාතික මධ්‍යස්ථාන, එන්.ජී.ඕ අනං මනං සෑහෙන්න තියනව.(පට්ටම ඇකඩමික් ඩයල් කියල හගවගන්න හදන කස්ටිය කොරනව වගේ ලින්ක් එකකුත් දැම්ම).   මෙහේ ඉතින්, සතියක දෙකක ටුවර් එකක් දාන්න තිබ්බ නම් මරේ මරු.
හරි හරි ,, ආපහු කතාවට.
ඔන්න ඔය නගරේ තියනව කෞතුකාගාරයක්, අර අපේ තියෙන්නෙ කොළඹ හතේ, අන්න ඒ වගේ.  කොළඹයි වියානා නගරෙයි සසදනවා කියන්නෙ අවීචියයි තව්සිතාවයි වගේ හිටී. ඉතින් ඔය කියපු  කෞතුකාගාරෙ එක දවසක්  මාරම මාර වැඩක් උනා. අපේ එක වගේම ඒ දවස වල මේකත් රෑට වහනවලු. ආපහු පහුවදා උදෙන්ම අරිනව. ඔන්න එක දවසක් උදේ බලනකොට මේකේ තිබිච්ච එක බඩුවක් නෑලු.
හාහ් හා ,, අපේ එකෙත් උනේ ඔය වගේම දෙයක් නේද. වෙලාවට අපේ දේසපාලුවෝ ඔය කතා දන්නේ නෑ දන්නවා නම් ඕවත් උදාහරණෙට අරගෙන, මෙහේ මොකක්ද උනේ කියල වැඩේ ශේප් කරනව.
ලෝකේ තිබිච්ච හොදම ආරක්ෂණ විධි, තාත්ෂණ තිබ්බත් මොකක් හරි හිලකින් වැඩේ ලිස්සල ගිහින් තිබ්බ. මේක දාසය වැනි සියවසට අයත් රත්තරන් පිළිමයක්.

මුහුදට අදිපති දෙවියා ලස්සන කාන්තාවක් එක්ක කකුල් පටලවාගෙන ඉන්නවා. "සැලීරා" නොහොත් මේ නැති වෙච්ච භාණ්ඩයේ වටිනා කමත් එසේ මෙසේ නෑ. ඇමරිකන් ඩොලර් මිලියන හතලිස් හතක්. සැලීරා වගේම  ඒක හදපු බෙන්විටූ සිලිනි (Benvenuto Cellini ) ගැනත් කතා බොහොමයි.
කොහොමහරි පොලිසිය හොරා පස්සේ පන්නන අතරේ හොරා මේක පෙට්ටියක දාල කැලෑ බද පැත්තක හංගල. කෞතුකාගාර අධ්‍යක්‍ෂකයි ඇමතියවයි මීඩියා පොරවල් පට්ට ගහනවලු.
ඇත්තටම හොරා  කෞතුකාගාරෙ අලුත්වැඩියා කරන්න ආපු පොරක්.  අනික් කාරනාව මූ හොරෙක් උනාට මේක උස්සල තියෙන්නෙ විකුනන්න කියල හිතාන නෙමේලු. දැක්කලු ගත්තලු. අඩේ ලස්සන බඩ්ඩක් කියල යන ගමන් බෑග් එකේ දාගෙන යන්න ගිහින්. අන්තිමට හෝරාවයි සැලීරවයි හොයාගන්න පොලිසියට අව්රුදු තුනක් විතර ගිහින්.


සැලීරා කියන්නෙ මොනාලිසා වගේ සෑහෙන ප්‍රසිද්ධ දෙයක්. එහෙම දේවල් වල ආකෘති ඕනි තරම් තියනව. ඒ වගේ දෙයක් ඔහොම නැතිවෙලා හම්බවෙනකොට ඇත්තටම හොයාගත්තේ පරණ ඔරිජිනල් දේමද කියන එක ප්‍රශ්නයක්. ඒ සදහා පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමයක් තමා XRF කියන්නෙ.
 සරලවම මේ ක්‍රමයෙන් අදාළ බඩුවේ තෝරාගත් තැන් තැන් වල පවතින ලෝහ කොටස්වල සංයුතිය හොයාගන්නව, අදාළ දේට හානියක් නොකර. මුලින් එහෙම හොයාගෙන තිබ්බ නම් ආපහු ගෙනා එක පරික්ෂා කලහම ඔරිජිනල් එකමද කියල තීරණය කරන්න පුළුවන්.
සැලීරාට එහෙම කලාට අපේ නැතිවෙච්ච කඩු, කාසි වලට ඔය දත්ත නෑ. ඒ හන්ද ආපහු හම්බ උනත් ඔරිජිනල් බඩුමද කියල සැකයක් ඇතිවෙනව. විශේෂයෙන් කාසි වගේ දේවල්.
පහුගිය දවසක "සැලීරාව" පරික්ෂා කරපු විද්‍යාඥයා ලංකාවට ආව. ඇවිත් මේ දේවල් ගැන මෙහේ කට්ටියටත් කියා දීලා පොඩි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකකුත් කළා. මෙහේ කට්ටිය ඒ ගොල්ලෝ ගාව තිබිච්ච පරණ කාසි , රන් මසුරන් වගේ දේවල් වල මොනවද තියෙන්නෙ, රත්තරන් එහෙම තියනවද, කොච්චරක් තියනවද කියල හොයාගත්ත.
එක මහත්තයෙක් පරණ කාසි සෙට් එකක් දුන්න. මසුරන්ලු. අඩේ ඇත්ත නේන්නම් සීයට හැත්තෑවයි, අසූවයි රත්තරන් ප්‍රතිශතය.
ඔන්න ඔහොම වැඩේ නැගල යන අතරේ මට එහා පැත්තෙ හිටපු ඩයල් එක.
"මේ බන්, මගෙත් එකක් තියනව බලන්න දෙන්න"
අනිකා :- "මොකක්ද උබේ මාලයක්ද, නැත්නම් මුද්දක්ද"
"නෑ මචන්. අපේ පහේ කාසියත් රත්තන් පාටයිනෙ බන්, රත්තරන්ද දන්නේ නෑ"
මෙන්න මූ ගිහින් පහේ කාසියක් සුද්දට දුන්න රත්තරන් තියනවද බලන්න. ඔන්න අපේ කස්ටිය බලන ඉන්නවා පහේ කාසියේ රත්තරන් කොච්චරද කියල.
හික් හික් හික්,,, ඔය තියෙන්නෙ පහේ කාසියට ආපු රිසාල්ට් එක.
පහේ කාසියෙ තියෙන්නෙ ඉතින් යකඩයි, තඹයි, සින්ක් ටිකකුයි විතරයි. මොනවා කොරන්නද ඒකත් අපේ කරුමෙ.







Wednesday, July 25, 2012

අසම්මතේ ගැටලුවට විසදුම,,,

ලංකාවේ සරසවි 10ක්  විතර තියනවා මගෙ හිතේ. එතකොට ලෝකෙම කීයක් විතර තියනවා ඇද්ද,,,
එතකොට ඒ ඒ වලින් ලබාගන්නා සහතික වල පිළිගැනීම කොහොමද,, ඔව්වට එක එක කෙනා එක එක කතා කියනව. නමුත් බහුතර අදහසට අනුව ලංකාවේ සරසවි වලින් වැඩිපුර පිට වෙන්නේ නිර්මාණයශීලීතාව හීන හීන මෙලෝ මල දානයක් බැරි චාටර් ඩයල් ටිකක්ලු.
ඔන්න ඉතින් ලංකාවේ රජයේ වි.වි වලින් ඩිග්රි  ගත්තත්, පිට රටකින් ගත්තත් සමහර වෙලාවට ඒ කට්ටියගේ දැනුම, හැකියාව මනින්න තව තව අන්තර් ජාතික විභාග තියනව. ඇත්තම කීවොත් අන්තිම පොස්ටුවෙන් දැම්මේ එවැනි හැමෝටම  (කලා, වාණිජ ඕනි කෙනෙකුට ) පොදු පරික්ෂණයක ගැටළුවක්.
මේ වගේ ගැටළුවකට ලැබෙන්නේ විනාඩි එක හමාරක් වැනි කාලයක්. උත්තරේ හොයාගෙන කොටුව පාට කරන්නත් වෙනව. තියෙන්නෙත් කඩ්ඩෙන්.

ලස්සන කියන්නෙ ඇමතිල ළමයි ගැන මොක මොක කීවත් මේ වගේ අමුතු ගැටළු තියන පේපර් වල ඔක්කොම ටික හරියට හදන අපේ ලංකාවේ කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නව.

ඔන්න එහෙනම් ආපහු ගැටලුව මතක් කරල උත්තරෙත් දැම්ම.  බලන්න ඔයාටත් පුළුවන්ද,,,, විනාඩියෙන් හදන විදිය, ඔබටත් හිතුනද, නොසිතුනේ මොකද.......



 මුලින්ම හින්ට් සහ දැනගත යුතු කරුණු. (ඕනෙවටත් වඩා හින්ට් ඇත. කොහොමටත් මේවා හැමෝම දනී)
1.සම්මතයට එහා ගිය අසම්මතයෙන් අපහසු දේවල් වලට සරලව උත්තර ගලපන්න පුළුවන්.
2. සමචතුරස්‍රයක වර්ගප්‍රමාණය හොයන සූත්තරේ:- දිග වැඩි කිරීම පළල
3. වෘත්තයක වර්ගප්‍රමාණය හොයන්නේ :- πr
4. උඩ සුත්තරයේ π කියන්නේ 22/7 සහ කියන්නේ වෘත්තයේ  අරය.
5. රුපය පරිමාණයටම ඇදලා ඇත. වැරදියට ඇදලා අබ්ලික් කරලා අනං මනං කචල් නැත. (රුපයේ තියන ඇද කුද ගණන් ගන්න එපා)

උත්තර 5 ක් ඇත. 4 ක් වැරදියි. හරි එක හොයාගන්න ඕනි තාර්කිකව.
ඔන්න ගැටළුව...
රුපයේ පරිදි ABCD නම් සමචතුරස‍්‍රයකි. එහි අර්ධ  වෘත්ත හතරක් ඇද ඇති අතර ඒවායේ කොන් සමචතුරස‍්‍රයේ මැද පිහිටන ලෙස ඇත. AB= 4 යි නම්, අදුරු කල කොටසේ වර්ගඵලය පහත පිළිතුරු වලින් කුමක්ද


a) 8
π
b) 32-8
π
c) 16-8
π
d) 8
π-32
e) 8
π-16



උත්තරේ  බලන්න ඉස්සෙල්ල හිතන්න,,, බැරිම නම් පහළට යන්න.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|


පිළිතුර:-
ABCD කොටුවේ සයිස් එක 4 x 4 = 16 යි. අදුරු කල කොටස එයින් බාගයකට මදක් වැඩි බව තේරුම් ගත යුතුය. (පරිමාණයට ඇද හින්ට් එකක්ද දී ඇත.) එනම් පිළිතුර 8 ට වඩා ස්වල්පයක් වැඩි 16 ට වඩා අඩු විය යුතුයි.
π තුනට සමානයි සරලව ගත් විට
a) 8π යනු 24 කි. මහ කොටුවටද වඩා වැඩි අගයකි. 
c) 16-8π යනු බින්දුවටත් අඩුය.
d) 8π-32 මේකත් බින්දුවට අඩුයි. කට්ටිය දැක්කේ නැද්ද.
යන්තම්  ගෑවීගෙන යන්නේ b) 32-8π. නමුත් එහි අගය කොටුවේ වර්ග ප්‍රමාණයේ බාගයකටත් මදක් අඩු බව පැහැදිළිය. 
එසේ නම් නිවැරදි පිළිතුර   8π-16 කියන එක.

ටක්කෙටම පිළිතුර දීල තිබුනේ ජගත්. අනික් කට්ටියත් උත්තරේ කීවට සරලම පැහැදිළි කිරීම තමා වටින්නෙ.

මේ බ්ලොග් එක බලන සයිබර් ජනතා සංඛාව කීය උනත්, මෙතෙක් නොදුටු කීපදෙනෙක්ම අදහස් ලියල තිබ්බ එක ගැන අවන්කවම සතුටුයි. (අනොන්ගේ කුණු-හරුප හැර).

සියල්ලන්ටම ස්තුතියි.....

Monday, July 23, 2012

සම්මතයෙන් එහා පිළිතුරු

අවසන් පොස්ටුව උනේ "අල්ලපු ගෙදර නංගිගේ ගැටළුවක්". ඒ ගැටලුවට උත්තර කමෙන්ට් වලම තිබ්බ. උත්තරේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඕනිම කෙනෙකුට අල්ලගන්න පුළුවන්.
ඇත්තම කීවොත් මටත් ගණන් ඇලජික් තමා, ඒත් ඒවා අස්සේ පොඩි පොඩි ආතල් එකකුත් නැතුවම නෙමේ. එහෙනම් අට වසරේ බබාලටත් කැල් එකක් නැතුව, හරි උත්තරේ තෝරන්න පුළුවන් විදියේ සම්මතයට එහා ආතල් විදියට උත්තර හොයන්න දෙයක් දෙන්න මට අවසර.
වැඩේ සරලයි, හරි උත්තරේ තෝරන්න තියෙන්නෙ. හින්ට් දීල තියෙන්නෙ තවත් ලේසි වෙන්න. තමුන් ගැටළුව දකින, විසදන්න අඩිය තියන විදිය මත (අ)පහසුතාව තීරණය වෙනව. හැබැයි පුතෝ,, පස් වරක් වෙනකම් චක්කරේ පුළුවන් නම් විනාඩියෙන් හෝ ඊට ඉක්මනට කොරන්ටත් පුළුවනිලු.

එහෙනම් මුලින්ම හින්ට් සහ දැනගත යුතු කරුණු. (ඕනෙවටත් වඩා හින්ට් ඇත. කොහොමටත් මේවා හැමෝම දනී)
1.සම්මතයට එහා ගිය අසම්මතයෙන් අපහසු දේවල් වලට සරලව උත්තර ගලපන්න පුළුවන්.
2. සමචතුරස්‍රයක වර්ගප්‍රමාණය හොයන සූත්තරේ:- දිග වැඩි කිරීම පළල
3. වෘත්තයක වර්ගප්‍රමාණය හොයන්නේ :- πr
4. උඩ සුත්තරයේ π කියන්නේ 22/7 සහ කියන්නේ වෘත්තයේ  අරය.
5. රුපය පරිමාණයටම ඇදලා ඇත. වැරදියට ඇදලා අබ්ලික් කරලා අනං මනං කචල් නැත. (රුපයේ තියන ඇද කුද ගණන් ගන්න එපා)

උත්තර 5 ක් ඇත. 4 ක් වැරදියි. හරි එක හොයාගන්න ඕනි තාර්කිකව.
ඔන්න ගැටළුව...
රුපයේ පරිදි ABCD නම් සමචතුරස‍්‍රයකි. එහි අර්ධ  වෘත්ත හතරක් ඇද ඇති අතර ඒවායේ කොන් සමචතුරස‍්‍රයේ මැද පිහිටන ලෙස ඇත. AB= 4 යි නම්, අදුරු කල කොටසේ වර්ගඵලය පහත පිළිතුරු වලින් කුමක්ද? 


a) 8π
b) 32-8π
c) 16-8π
d) 8π-32
e) 8π-16


ඔන්න ආපහු කීවා, ඇත්තයි සත්තයි. කැල් නැතුව, කචල් නැතුව විනාඩියෙන් උත්තරේට එන්න පුළුවන්. සම්මතයෙන් තොර අසම්මත විදියට වැඩ කරන කස්ටියට පාර හොයන්න ලේසියි.

මේකට නම් අනිවා පිළිතුරු ලිපියක් ලියනව. කමෙන්ටුත් මොඩරේට් කරල තියෙන්නෙ, 5 වසරේ එකෙක් ඇවිත් එකපාර උත්තරේ දූන්නොත් හෙම.
උපුටා ගත්ත පොතේ තිබිච්ච විදියට මේවගේ ගැට සරලව විසදනව නම් ජිවිතේ ගැටත් සරල වෙනවලු.



















ප.ලි:- තෑග්ග දෙන්නේ විසදපු ක්‍රමයට. උත්තරයට නෙමේ. හදපු විදියත් පොඩියට කියන්න. 

Tuesday, June 19, 2012

අල්ලපු ගෙදර නංගිගේ 3නේ ගැටළුව,,,

අල්ලපු ගෙදරින් :- "අයියේ,,,, අයියේ,,," 
මම :- "ඇයි නංගි මොකෝ කේස් එක"
අල්ලපු ගෙදර නංගි:- "අනේ අයියේ,,, පුංචිම පුංචි ගාණක් තියනව කියල දෙන්නකො."
(අම්මප මේකිට මාව ඕනි උනහම "අයිය", නැත්නම් "මාමා".)
ඔන්න ඔහොම උදේ පාන්දර 10ට විතර අල්ලපු ගෙදර නංගිගෙන් ගාණක් හම්බුනා. මොනව කොරන්නද, මට කියල රැකගන්න නම්බුවක් නැති උනත් ගෙදර මිනිස්සුන්ගෙ නම්බුව ශේප් කරගන්න මොකක්ද කියල ඇහුව.
------------------------------------------------------------------------------------
ඔන්න එහෙනම් අල්ලපු ගෙදර නංගිගේ ගාණ අද පොස්ට් එකෙන් දානව.
හරි ක්‍රමේ අල්ල ගත්තොත් ගාන සුටුස්‌ලු. 
පොඩි කොළ කෑල්ලක් නම් ඕනි වේවිලු, නමුත් කැල් පාවිච්චිය අපරාධයක්ලු. මොකෝ ගාන හදන විදිය අල්ල ගත්තහම "අපරාදේ" කියල නිකම්ම කියවෙනවලු. ප්‍රශ්නයක් දිහා අපි බලන විදියත්, ඕනිම ගැටළුවකට උත්තර හොයන්න ක්‍රම ගොඩක් තියනව කියන එකත් දැනෙනවලු. 


එහෙනම් ඉතින් මේක කියවන කට්ටියට ගැටළුවේ උත්තරයත්, ඒ උත්තරය ගත්ත විදියත් (හදන සිස්ටම් එක තමා ගොඩක් වැදගත්) කියන්න පුළුවන් නම්,,,,,, (ඔව් එහෙම කිව්වොත් දෙවියනේ කියල නම්බුව ශේප්)

ඕන්න එහෙනම් ගාන......

"හතෙන් බෙදුවහම ඉතිරිය තුනක් වෙන සීයට අඩු සංබ්‍යා කීයක් තියනවද?" (සීයට අඩු කීවම බින්දුවවයි සීයයි අතර තියන පුර්ණ සංබ්‍යා - ලොකු දශම සීන්, ඝෘන ගණන්, ඒව මේවා නැතුව සරලව)


Wednesday, May 23, 2012

ඕ.අයි.සී බුවාගේ ගෑස්,,,,,

මේක ටිකක් විතර පරණ සිද්දියක්, පරණ කීවට මහා පරණකුත් නෑ. ජාතක කතාවල වගේ වර්ථමාන එපිසොඩ් එකකුත් තියනව. මුලින්ම අතීත කතාව කියන්නම්.
අවිස්සාවේල්ල ටවුම හරියෙම හිටපු කොල්ලෙක් ගැන. මෑන්ස් ඇවිත් ගමේ කව්රුත් වගේ දන්න කියන පොරක්. අඩුම තරමේ නම ගම දන්නේ නැතත් මුහුණුවර හරි දන්නව. පොර කාලෙකට ඉස්සර නම් පොඩ්ඩක්වත් බැගී දාන්නේ නැතුව අළුත් ටී-ශර්ට් ගහගෙන කෙල්ලො පස්සේ ගියපු හැටිත් මට නම් මතකයි. ඒත් කාටවත් වාතයක් වෙච්ච ඩයල් එකක් නෙමේ. ඒ දවස්වල කෙල්ලො පස්සේ ගියාට මොකද පස්සෙ ජෙන්ටල් මෑන්ස් උනා. ගෙදරින් පිට නැවතිලා ජොබක් කරගෙන ටික කලක් යනකොට ඕනිම කොල්ලෙක් පොඩ්ඩක් වෙනස් වෙන එක හැටියක්.

ඉතින් මේ අපේ කතා නායකයා ගමේ ඇවිත් කරගත්ත කචල් සිද්දියක් කියන්න යන්නේ.
මේක උනේ පොර නිවාඩුවට ගමේ ඇවිත් ඉන්නකොට. අවිස්සාවේල්ල ටවුන් එකේ පොරගෙ යාළුවො කට්ටියකුත් ඉන්න හන්ද මෑන්ස් ගිහින් ටවුමට. පරණ ආගිය තොරතුරු කතා කරල ගෙදරට බඩු ටිකකුත් අරන් යන්න හදනකොට යාළුවෙක්...
"මචන්, හිටහන් පොඩ්ඩක්. උබ ගෙදරනේද යන්නේ. මාත් එනව,,, යමන් මගේ බයික් එකේ"
ඔන්න දැන් ඩබලම බයික් එකේ යනව. ඒත් එතන පොඩි පරහක් තිබ්බ. මොකෝ මුන් දෙන්නගෙන් බයික් එක එලවපු යාළුවට විතරයි හෙල්මට් එකක් තිබ්බෙ. අනික පරහ උනේ ගෙදරට යන පාරේම තමයි පොලිසිය තියෙන්නෙත්. (අවිස්සාවේල්ල ටවුමේ ඉදන් රත්නපුර පැත්තට තමයි දෙන්න ඩබල් දාල ගියේ)
දන්නවනේ අපේ පොලිසිය. රාලහාමිලට දිවැස් තියනවලුනේ.
කරුමේ කියන්නෙ මේ වෙලාවේම ඕ.අයි.සී බුවාත් පොලිස් බයිසිකලයක නැගල ටවුම පැත්තට ආව. මේ ඕ.අයි.සී රා-හාමි ටිකක් දරුණු පොරක්. පොරව මෙල්ල කරන භාණ්ඩේ මොණර කොළ විතරයි. එතුමාට පිං සිද්ද වෙන්න ඔය ටිකේ කසිප්පු කාරයොයි, කුඩු විකුණපු එවුනුයි රජා කරගෙන හිටියෙ. ඔයිට අමතරව මෙයා රා-හාමිලා කරන ඉතුරු බලු වැඩ ටිකත් ජයටම කරගෙන ගියා.
"කවුද යකෝ මගෙ වැයික්කියේ හෙල්මට් නොදාන xxx.. නවත්තපන්" 
හෙල්මට් නොදා යන එක වරදක්නෙ.වැරැද්ද වැරැද්දමයි,,, යාළුවො දෙන්න බයික් එක නැවැත්තුව.
"මචන්, දඩ කොළයක් දුන්නොත් අරගෙන එන්නම්. උබ පොඩ්ඩක් ඔහොම ඉදින්කෝ" යාළුවාත් ඕ.අයි.සී ගෙ හැටි දන්න හින්ද අපේ කතා නායකයව එහෙමම තියල තනියම ඕ.අයි.සී ලගට ගිහින්.
ඕ.අයි.සී:- මොකද හුxx, තෝ විතරක් ආවේ. තොපි දෙන්නටම මම කතා කලේ.
යාළුවා:- අනේ සොරි සර්, මම ගිහින් එක්කගෙන එන්නම් පොඩ්ඩක් ඉන්න
ඕ.අයි.සී:- නෑ තොපේ ගජයට එන්න බැරි හින්දනෙ ආවේ නැත්තේ... මම ගිහින්  බලන්නම් උගේ අන්ඩක් අඩුද කියල.

ඔන්න ඔහොම කියල අර අපේ බයිසිකලේ හිටපු හෙල්මට් නැති කොළුවා ලගට ගිහින්,,,
"මොකද යකෝ කතා කලාම පොන්xxක් වගේ ඉන්නේ" කියල හොදට අත දිග ඇරලා කන පැලෙන්න තරමේ එකක් දුන්න.
මම දන්නා විදියට වැරදි ඇල්ලුවට හැම වැරැද්දටම දඩුවම් දෙන්න පොලිසියට අයිතියක් නෑ. හෙල්මට් නැතුව ගියා කියල කනට ගහන්නත් බෑ. ඒ තියා මිනිස්සුන්ට කුණු හරපෙන් බනින්න අයිතියකුත්නෑ. ගුටිකාල ජන සංසදයට කියල මහ ලොකු තේරුමකුත් නෑ.
කොහොම උනත් සිද්ද උනේ ඕ.අයි.සී නොහිතපු දෙයක්.
අපේ මෑන්ට තද උනා. "යකෝ මේක යකාගේ පොලිසියක්නේ". ඕ.අයි.සී ට වැදුනේ පයින්. නිකන් නෙමේ කාණුවට විසික් වෙන්නම ගැහුවා. පොලිසිය ඉස්සරහම වගේ ඕ.අයි.සී ට ලෙලි යනකම් වැදුනා.
ඔන්න ඔහොමයි අපේ යාළුවා මුලින්ම අවිස්සාවේල්ලේ වීරයෙක් උනේ. ඕ.අයි.සී පස්සෙ වලි දාන්න හැදුවත් හරි ගියේ නෑ. අන්තිමට දෙවියනේ කියල ඕ.අයි.සී ම ට්‍රාන්සර් එකක් හදා ගත්තලු.

අවිස්සාවේල්ලෙ අපේ කාලේ වීරයාගේ (රාජසිංහ රජතුමා ඒ කාලේ) ගමේ කතාව තමා ඕක. කොහොම උනත් අවාසනාවට අපේ ගමේ තරුණ වීරයා නම් දැනට ජීවතුන් අතර නෑ. නමුත් කව්රු හරි කොළඹ පැත්තේ ඉදන් අවිස්සාවේල්ල ටවුමට එනවා නම් ඔහුව තවමත් දකින්න පුළුවන්..

ඔව්,, ඔහු නමින් ලලිත් ජයසිංහ. තවත් පූර්ණව කිවහොත් දිගු දුර මෙහෙයුම් බළකාය වෙනුවෙන් ජීවිතය කැප කල උසස්ම නිලධාරියා වන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ (පරම වීර විභූෂණ).
නිවටුන් කැනහිලුන් ගුණ මකුවන් සහ බල ලෝභීන් රජයන ලොව,,,,,,,, ඔබ ලක් දෙරණේ නියම රණ-විරුවෙක්ය... හිත හොඳ කොල්ලෙක්ය....









Tuesday, May 15, 2012

ගේ දොර හරි උගස්‌ කරන්,,,,

පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්‍රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති පන්තියේ. සමහරු අන්තිම දුප්පත්. ගේ දොර උකස් තියන් රට ගිය කට්ටිය. 

කට්ටිය හිමීට කතාව දාගෙන ඉන්නකොට ඒක ඒක රටවල පුරුදු, සැප පහසුකම්, දුක කරදර ඔක්කොම එලියට එනව. එකට ඉස්කෝලේ ගිය සුන්දර අතීතයත්, කරපු කොලු වැඩත් මතක වෙනව. 
ඔන්න ඔය කොළු වැඩ ගැන කියන කොට බිග් මැච් අමතක කරන්න අමාරුයි. කොල්ලෙකුට පාරේ නට නටා යන්නත්, හැට් කලෙක්ෂන් දාන්න චාන්ස් එන්නෙත්, මියුසියස් එකට පැනල හරි හූ තියන්න ගටක්‌ ආවෙත් මේ කාලේ. ඔය දවස්වල ලැබෙන පොඩි අවසරයකින් මීවිත තොලගාන්නේ බේබද්දෙක් වෙන්න හිතාගෙන නම් නෙවෙයි. නමුත් එහෙම බීල බේබද්දෝ වෙච්ච එවුන් ඕනි තරම් ඇති. 
හැබැයි ඒ දවස වලත් බොන එකට විරුද්ධ කොල්ලෝ හිටිය. ඔන්න ඔහොම එකෙකුත් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නව. පොර ඒ දවස්වල බොනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයකටත් වඩා ලොකු එකක් කියල ඇදපු එකෙක්. හැබැයි දැන් ,,,,,, දැන් එකේ අනික පැත්ත. සෙට් එකේ වැඩිපුරම බොන්නේ පොර.
හැමෝටම වැඩේ මීටර් වෙච්ච්ච හන්ද ඒ මාතෘකාව ඇදිල ආව.
"නෑ බන්, සුද්දොත් එක්ක සෙට් වෙන්න නම් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ඕනි. එතකොට තමා පොරවල් ෆිට් වෙන්නෙ. මුලින් තේ හැන්දයි ගත්තෙ, දැන් නම් බෝතලයත් මදී"
ඔන්න පොර සුරාමේරය කැඩුවට මුසාවාදේ කැඩුවේ නෑ. ඔය වෙලාවට තමා අර ගිරවු දෙන්නගෙ කතාව මතක වෙන්නෙ. හොද පැත්තට වැටුණු එකා හොදටත්. හොරුන්ගේ පැත්තට වැටුණු එකා හොරෙක් විදියටත් හැදෙනව. බල්ලෝ මරලත් සල්ලි හොයනව.
කොහොමහරි කට්ටිය සතුටින් ජිවත් වෙනව වගේ. පිටරට ජිවිතේ ගැන මට නම් අත්දැකීම් නෑ. ඒත් ගොඩක් දෙනෙක් මට කීවේ මෙන්න මෙහෙම. 

මේවා ඇත්තද බොරුද නම් දන්නේ නෑ.

Wednesday, May 9, 2012

තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි

පහුගිය ටිකේ, ඒ කිව්වෙ වෙසක් එකට ඉස්සෙල්ල ටිකේ හැම තැනම අවරුදු උත්සව තිබ්බ මතකනෙ. සයිබර් අවකාශේ එකකුත් තිබ්බට එන්නේ කොහොමද. ගෙවල්ගාව එකත් ගානට වැටිලා තිබ්බේ එදාට. තව ඉතින් පොඩි සංවිධාන පට්ටමකුත් තිබ්බ. නොගිහින් කොහොමටත් බෑ.

ඔන්න එහෙනම් කතාවට බැස්ස.
එදා අපේ  ගම් පළාත් පැත්තේ අව්රුදු උත්සව බර ගානක් තිබ්බ. අවිස්සාවේල්ලෙ ඉදන් රත්නපුර පැත්තට පිලිවෙලින් කියනවා නම් 1) අවිස්සාවේල්ල පොලිසියේ අව්රුදු උත්සවයයි, 2) මාදොල තව එකකුයි. 3) දෙහිගහපිටිය සමන් විද්‍යාලේ තවත් එකකුයි.
ඔය තුනෙන් මාදොල එකයි, දෙහිගහපිටිය  එකයි වැඩි දුරක් නෑ. ඔය උත්සව දෙකම පටන් ගන්න කලින් හාමුදුරුවො ඇවිත් පන්සිල් දුන්න. ලස්සන කියන්නෙ දෙහිගහපිටිය එකේ "දුතියම්පි බුද්ධං සරනං" කියනකොට මාදොල එකේ "බුද්ධං සරනං" කියනවා ඇහෙනව. වැඩිම උනොත් මීටර හාර පන්සීයක් ඇති. බයිසිකලයක් තිබ්බ නම් හැම එකටම යන්න තිබ්බ.

ඔන්න දැන් උත්සව පටන්ගෙන ඔක්කොගෙම වැඩ කෙරීගෙන යනව. කොට්ට පොර , අලියට ඇහැ, බනිස් කෑම, කඹ ඇදීම, ගෝනි රේස්, කනා මුට්ටි....ඔය අතරේ තවත් වැදගත් තරගයක් තිබ්බ. ඒ තමා අමාරුම එක. "මැරතන් තරගය".
මැරත්න එකක් කරන එක ලේසිම නෑ. දුවන කට්ටිය හරි පාරේ යනවද කියල බලන්න කට්ටියක් යොදවන්න ඕනි. මොකද ගමේ ගොඩේ ඕනි තරම් ෂෝට් කට් තියනව. සමහරු බයිසිකල්වල ත්‍රීවිලර් වලත් යනව. ඔව්ව අල්ලනත් චෙකර්ස්ල දාන්න වෙනව. පළවෙනිය එන්න ලං වෙනකොට පණිවිඩය ලැබෙන්නත් ඕනි. පළවෙනියට නුලක් ඇදල ඒක කඩාගෙන යන්න දෙන හන්ද. දැන් නම් මොබයිල් ෆෝන් වලට පිං සිද්දවෙන්න  ඒ වැඩේ ලේසියි.
මටත් ඔය තරගේ සංවිධායක පට්ටම ලැබුන. මොන පට්ටම් තිබ්බත් උපන් කම්මැලිකම යවන්න බැරි හන්ද, වැඩ ටික කට්ටියට බෙදල දීල කූල් එකේ මම හිටිය. කොහොමටත් නැගෙන පරම්පරාවට වැඩ පුරුදු කරන්න ඕනි.  කට්ටිය ගජ රාමෙට වැඩ.
අපේ මැරතන් එකත් පටන් ගත්ත. නරකම නෑ, විසි පහක් හිටිය කාන්ඩේ. දෙතුන් දෙනෙක් බයිසිකල් වලින් ගිහින් සපෝට් කරන්නත් ඉදිරිපත් උනා.  ඔන්න දැන් ඉතින් වැඩ ටික යනව.
දුවන කට්ටියට දුවන්න කියල අනිත් තරග ටික දිගටම කෙරීගෙන ගියා. බිත්තර අල්ලන වැඩේට බිත්තර ටික හදල දුන්නෙත් මම. බිත්තර හැදුවා කීවේ බිත්තර දැම්මා කියන එක නෙමේ. අල්ලන්න ගන්න බිත්තර සතියක් මඩේ ගහල තියන්න ඕනි. එතකොට තමා ගානට පදම් වෙලා එන්නෙ. පිපිරුණාම සුවද ගහන්න හදල තියන්න එපැයි.
තප්පරෙන් තප්පරේ ගිහින් පැයක් හමාරක් නොදැනිම ගෙවිල ගියා. ඔන්න අපේ එක්කෙනෙක් ඇවිත් මට කියනව මැරතන් එකේ කට්ටිය ලග ලගම එනව කියල. එතකොට කරන්න ඕනි වැඩ ඔක්කොම සුදානම් කරලා තිබුනෙ. මම ඉතින් ඈතට වෙලා තවත් යාලුවෙක් එක්ක පොඩි කතාවක් දාගෙන බලන් හිටිය.
නිවේදක මල්ලිගෙත් වෙඩි වගේ හඬ. " අංක අට ක්‍රීඩක ඉසංක මල්ලවාරච්චි, මැරතන් තරගයේ පෙරමුණින් පැමිනෙන බවයි දැන් වාර්තා වෙන්නේ. තව ස්වල්ප මොහොතකින් තරගකරුවන් පැමිණෙනවා ඇත."
හනි හනිකට කට්ටිය නූලක් ඇද්ද. පාර දෙපැත්තේ කට්ටිය අප්පුඩි ගහන්න බලන ඉන්නව. ඔය අතරේ  අන්තිම මොහොතේ හරි  වතුර ගහන්න නංගිල ටිකක් ලෑස්ති වෙනවත් පේනව. මා ගාව තිබ්බ ග්ලූකෝස් පැකට් ටිකත් එතනට යැව්ව එන එන කට්ටියට දෙන්න කියල.
ඔන්න දැන් පළවෙනිය ප්‍රධාන පාර දිගේ එනව. නිවේදක මල්ලිත් උපරිමයි. කට්ටියගේ චියර්ස් එකත් උපරිමේනුත් උපරිමයි. ඒ විතරද දුවන එකත් එනව නිකන් මීටර් සීය අදිනව වගේ.  ප්‍රධාන පාරෙන් හැරෙන්න ඕනි තැනට ලං උනා. පොරක් වතුර එකකුත් ඔලුවටම වක් කළා. නූල ඇදගෙන ඉන්න කට්ටියත් ප්‍රථමාධාරය දෙන කට්ටියත් ෆුල් සූදානම්.
ඒත් දුවගෙන ආපු පළවෙනියා මහ පාරෙන් උත්සව භුමියට හැරුනේ නෑ. පොර දිගටම රත්නපුර පැත්තට වෙඩි වගේ දුවනව.
නූල අල්ලපු කට්ටියට පොළව පලන් යන්න වගේ. එනවුන්සර් මල්ලිගෙ කටත් බ්ලොක් වෙලා. මෙන්න එහෙං මෙහෙන් එනව... " හූ... හූ හූ..හූ....හූහූහූහූහූහූහූහූහූ". හූව දිගටම නැගල ගියා.
මොනව කරන්නද රෙදි ඇදගෙන ඉන්නද,, විළි ලැජ්ජයි කුජීතයි. නෝන්ඩිය මගේ පිටට එන්න ඉස්සර බයිසිකල් කට්ටකුත් හොයාගෙන එතනින් ශේප් වෙලා මහ පාරට බැස්ස. මගේ ඔලුවට ප්‍රශ්ණ දාහක් එනව. "අරූ, වෙන අව්රුදු උත්සවේක එකෙක්ද?". "එහෙනම් මොකේ හාල්පාරුවෙක්ද?". නැත්නම් "අපේම එකෙක් තවත් දුරට ගිහින් එන්න ඕනි කියල හිතුනද?"- ගියපාර දුර වැඩියි කියල මේ වතාවේ අඩුකලා කියල පොර දන්නේ නැතුවවත්ද???"
ඕනි මගුලක් කියල මමත් පෑගුව දුවගෙන යන පළවෙනිය ළගට. මම පොර ළගට කිට්ටු වෙනකොට මිනිහා අනිත් අව්රුදු උත්සවේට ලං වෙලා. මෙන්න එතනත් දෙනවා රම්පෙට පොරි දෙවනත් වෙන්න නිවේදනය. "හාපෝ මූ මේකේ එකෙක්නෙ. කමක් නෑ ඔන්න ඔහේ මමත් මූ පස්සෙන් ගිහින් ඉවර කලාම එනව" කියල මමත් දිගටම පෑගුවා.
එතන පොරවලුත් නූලක් හෙම ඇදගෙන ලැස්ති වෙලා ඉන්නව. පාර දෙපැත්තට වෙලා අප්පුඩි ගහන සෙට් එකකකුත් ඉන්නව. "හා,, තව පොඩ්ඩයි,, තව පොඩ්ඩයි" පොරවල් මුගේ මොරාල් එක නග්ගනවා. 
ලස්සන වැඩේ කියන්නෙ මූ එතනින් හැරුනෙත් නෑ. විළි ලැජ්ජයි කියන්නෙ මම ඇදුමක් ඇදගනද ඉන්නේ කියල මටත් සුවර් නෑ වගේ. එතන මැරතන් ඕගනයිසර්ගෙ මුණත් මට හිතාගන්න පුළුවන්.

හාපෝ,,, මට නම් තවත් ඉවසන්න බැරි හින්ද, "මල්ලි මොකද ඔයා අතනින් හැරුනේ නැත්තේ" කියල දුවන එකාගෙන්ම ඇහුව. 
"තමුසෙලාට පිස්සුද ඕයි. මම පොලිසියේ".
මේකා අවිස්සාවේල්ල පොලිසියේ අව්රුදු උත්සවේ එකෙක්. හැම තැනම උන් ගහල තියෙන්නෙ එකේ ඉදන් අංක පිළිවෙලට. අපේ උන් වෙන මොකවත් අදුරගන්න දාලත් නෑ. තුන් ගොල්ලොම  මික්ස් උනාම හොයන්න අංජනම් අරින්න වෙනව. අනිච්චා වත සංකාරාලු
එදා හවස ගෙදරින් මාරු උනාට පස්සේ වෙසක් එකටවත් ගමේ ගියේ නෑ.

 



Tuesday, April 17, 2012

මත්පැන් සමග ඩ්‍රයිවින් - 2

පහුගිය ලිපිය අවසාන උනේ. ටිකක් ගසල යනකොට රාළහාමි කෙනෙක් අත දැම්මොත් "අස්ථානයේ ඇත්ත නොකිව යුතුය"  යන කතාවෙන්. එහෙනම් වැඩිය පූර්විකා නැතුව මාතෘකාවට අදාළ දේ කෙළින්ම ලියන්නම්.
මුලින්ම බලන්න ඕනි 500ක් නොදී ශේප් වෙන තැනට ටෝකක් දාන්න..., සහ මෙතන ලියල තියන ක්‍රම වලින් තැනට සුදුසු විදිය පාවිච්චිය පාඨකයා සතුයි.
මුලින්ම රා-හාමිට කථා කරන ආමන්ත්‍රණ සෙට් එක ගනිමු. 
1) රාලහාමි  2) පොලිස් මහත්තය  3) සර්  4) ඉන්ස්පෙක්ටර් (ටිකක් හැදී දැඩි තලතුනා පුද්ගලක් නම් ඉන්ස්පෙක්ටර්ද කොස්තාපල්ද යන්න ගැටළුවක් නැත ඉන්ස්පෙක්ටර්ම කිව හැක) 5) පොලිස් ඔෆිසර්
ඔයිට වඩා තවත් ඇති. නමුත් මම බොහෝ විට පාවිච්චි කරන්නේ අන්තිම එක. මෙන්න මෙහෙම.
"ආ,,, පොලිස් ඔෆිසර්. මට නවත්තන්න කියල සිග්නල් කළා නේද,,, ම්ම්ම්ම්...."
රා-හාමි :- ඔව්, සර් ලයිසන් ඉන්ෂුවරන් එහෙම තියනවද??.... ම්ම්ම්ම් සර්ල බීල නේද ඉන්නෙ?
මම:- මෙන්න ඔෆිසර් ලයිසන් ඉන්ෂුවරන්ස්. මේ මම ඔය ඉස්සරහ ලයිට් කණුව ලග පාරේ දෙවැනි ගෙදර.
ඕනිම රා-හාමි කෙනෙක් පොඩ්ඩක් සැලන්ඩර් වෙන ටෝකක් තමා තමුන් මේ ලගම පදිංචි බව ඇගවීම. බොහෝ විට " හා හොදයි" කියනව. අසල්වැසියොත් එක්ක කචල් දාගන්න කව්රුත් කැමති නෑ. ඒ වගේම නමුත් අපිත් මතක තියාගන්න ඕනි අසල්වැසියන්ගෙන් මුලින්ම පගාව ගන්නත් රා-හාමිලා පොඩ්ඩක් විතර අදි මදි කරනව.
ඔය වගේ පොඩි පොඩි ටිප්ස් ටිකක් මම සංෂිප්ත ලියන්නම්.

  • සමහර රජයේ ආයතන, අමාත්‍යාංශය වල වැඩ කරන කට්ටියට උදා;- මාධ්‍ය ආයතන, විශ්ව විද්‍යාල, සහ දේශ පාළුවන්ගේ වැඩ වලට ගොස් ගෙදර එන කට්ටියට පගා රහිත නිදහස් වීමේ අවස්ථාවක් ඇත. කෙලින් කතා කර, හැකිනම් මොකක් හෝ හැදුනුම් පතක් පෙන්විය යුතුය.
  • බොහෝ දේස-පාළුවන්ගේ පවුලේ සහ හිතවත් උදවියට රා-හාමි නීතිය ක්‍රියා නොකරයි. එවැන්නෙක් ඉතා හොදින් ආස්සරය කරන බව ඒත්තු ගැන්වීමද ගැලවීමට මගකි.(සෑම තැනටම මෙය අදාළ නැත. පොලිසිය සමග කචල් දාගත් දේශපාලුවන්ටත් ඔවුන්ගේ හිතවතුන්ටත් දැඩි නීති ක්‍රියාත්මකයි.)
  • තමුන්ගේ හිතවතෙක් හෝ නාදෑයෙක්ලග අහල පහල පොලිසියක ඕඅයිසී කෙනෙක් නම් එතුමාව මතක් කිරීම තවත් ප්‍රත්‍යක්ෂ විධි ක්‍රමයකි. (නෑදෑ කමක් තාවකාලිකව හදාගෙන හෝ කීවාට කම් නැත. නමුත් පරිස්සමින්)
  • කණ දෙකට පැලෙන්න බීවත් පෙරකදෝරු මහතැන්ලාට 99.9% ක්ටම රා-හාමිලා ලෙඩ දාන්නේ නැත.
  • එම නිසා එවැනි ස්ටිකරයක් අලවා තැබූ විට රාති‍්‍රයේ මෙන්ම දහවලද රා-හාමිලාගේ කරදර අඩු අතර සැලකිල්ලද වැඩිය. 
  • රා-හාමි පැන්ෂන් යන්නට ආසන්න ගතියක් ඇත්නම් සහ තමනුත් එවැනි වයසක් නම් "මල්ලි, මල්ලි ඔය ගොල්ලන්ට තේරෙන්නේ නැති දුකක් හින්ද පොඩ්ඩක් බීවේ.  මල්ලිලට තව වයස තියනවනෙ,, අද මම පැන්ෂන් ගියා". රා-හාමිටද ලගදීම  පැන්ෂන් යායුතු බව සිහියට නැගුනොත් ඔහුගේද හිත සසල වේ.
  • රා-හාමිත් පොඩි කොල්ලෙක් නම් ඔබත් පොඩි කොල්ලෙක් නම් කෙල්ලගේ චපල බව පවසා බූට් තැබූ දුක නොබියව රා-හාමිට ඉදිරිපත් කිරීමද නරකම නැත. 

(ඉහත ක්‍රම දෙකෙන්ම මා පෙර රැකියාව කල ස්ථානයේ දෙදෙනෙකුම දෙහිවල පොලිසියෙන් කිහිප විටක්ම බේරී ඇත)
ඔවැනි බොරු කීමට අකමැති නම්....
"මේ ඔෆිසර්,  බීල කියන්නෙ මේ වැනෙනව නෙමේනේ. බොරු නම් නෙමේ, ඩ්‍රින්ක් එකක් ගත්ත තමයි. ගෙවල් ගාව ඉදන් අල්ලන එක හරිද,,,,".  
ලියන්නම හදනවා නම්
"හා ,, හා රාළහාමි ලියන්න එපාපාපා. ලියන්න එපාපා. පොඩි සමාවක් දීල යන්න දෙන්න. ලයිසන් නැති උනොත් මගේ රස්සාව ඉවරයි"
කොහොමටවත් රා-හාමිව අන්දන්න බැරි නම්, "හරි, ඔහොම ඉන්නකෝ රාළහාමි,, මම ඔබතුමාට පොඩි උදව්වක් කරන්නම්, මමත් වැරැද්ද කරලනෙ ඉන්නෙ" අන්න එහෙම කියල පගාව රුපියල් පන්සීයක් කාටවත් නොපෙනෙන්න අත මිට මොලවන්න වෙනව. පන්සීයේ බේත නම් සීයට අනූ-නවයයි දශම නවයක්ම ෂුවර්. හරිගියේ නෑ කියන්නෙ ඉතින් ආනන්තරීය පාපකර්ම දෙක තුනක්ම කරල තියනව කියන එක.
ඔන්න ඔහොම තමයි හිතට ආපු තුරුම්පු ටික සංශිප්තව. මේ ලිපිය ලියන්න ගත්තෙ අවුරුද්දට ටිකක් ඉස්සෙල්ල, ලියාගෙන යනකොට එක එක කචල් ආව. ලියල ඉවරයක්‌ කරගන්න විදියක් තිබ්බෙම නෑ. ඒ හන්ද ලිපිය පුළුවන් තරම් කෙටිකරල ලියල දැම්ම.. ඔන්න ලිපිය ඉවරම කරන්න කලින් තියනව හොදම දේ...
අවාසනාවට ඔක්කොම කචල් ගිහින් පොලිසියට යන්න වෙලා බැලුම් පුම්බන්න සෙට් වේගෙන එනව නම් කොහොම හරි පැනඩෝල් පෙති දෙකක් තුනක් හොදට හපන්න. බැලුම් වැඩේ කේස් වෙනව...
තවත් දෙයක් තියනව කියන්න,,, වාහනේ ලොක් කරල පස්ස නොබලා දිව්වත් මාස හයක් ලයිසන් කැන්සල් වෙනවට වඩා හොදයි. එහෙම දිව්වොත් පොලිසියට අමතර වගකීමකුත් එනව වාහනේ ගැන. උදේට පොලිසියට ඇවිත් මොකක් හරි කියල බේරගන්න පුළුවන්.
එහෙනම් ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල ප්‍රාර්ථනා කෙරුව!!!....



Thursday, March 22, 2012

මත්පැන් සමග ඩ්‍රයිවින්.

"මත්පැන් ශරීරයට අහිතකරයි" ඔන්න මම මුලින්ම කීව. ඕක අහන නැතුව දිගටම බීවොත් වෙන දේ මෙන්න මෙතන තියනව. ඒ විතරක්ද ගුවන්තොටුපළේ, අරලියගහ මන්දිරේ වගේ හයි ෆයි තැන්වල ඇරුණුකොට බීල අහුඋනොත් 50,000/= ක් දඩ කාල අවුරුදු 2ක් වැලිකඩ ඉන්න පුළුවන් කියල මෙන්න මෙතනින් මම දැක්ක. බුදු අම්මෝ හිතෙනව නේද.
හරි හරි ,, දැන් කියන්න හදන මාතෘකාව බොන එක නෙමේ. බීල ඩ්‍රයිව් කිරීමමත් නෙමේ. එහෙනම්??, බීල ඩ්‍රයිව් කරල රාළහාමි කෙනෙකුට මාට්ටු උනාම වෙන සිද්දිය. තනිකරම අත්දැකීම් එක්ක ලියවෙන්නෙ. කතාවේ පෙරවදන මෙහෙමයි.
අපේ අවාසනාවට පොඩියක් ගත්ත දවසට රා-හාමි කෙනෙක්ට මාට්ටුවෙලා බැලුමක් පුම්බල, දඩේකුයි, මාස හයකට ලයිසන් කැන්සලුයි, රස්තියාදුවකුයි, නෝන්ඩියකුයි වීම අතිශය බයානකයි. අන්න එහෙම නොවී රා-හාමිත් ශේප් කරගෙන කීයක්වත් නොදී බ්ලොග් පාඨකයන් ගෙදරට එතර කරවීම මේ පෝස්ට් එකේ අරමුණයි.

ඔන්න එහෙනම් කතාවට බැස්ස.
දැන් පාරේ තොටේ රාළහාමිල වැඩියි. මොකද යුද්දෙත් නෑ. වෙන වැඩකුත් නෑ. රජයට සල්ලිත් නෑ. ඒ වගේම මහජනයා ඇතුළු රාලහාමිලටත් සල්ලි වැඩිය නෑ කියන එක පොඩියට හිතේ තියාගත්තට කමක් නෑ. ඔන්න ඒ හන්ද රෑ වෙලා ගමන යනකොට මේ රා-හාමිලගෙන් ගැලවුම් නැත. සිකුරාදට නම් උපරිමයි.
මුලින්ම කියන්න ඕනි දේ තමයි "ප්‍රිවෙන්ශන් ඉස් බෙට්ර් දෑන් කියෝ" කිවලුනෙ. අහු නොවී යන්න තියනව නම් උපරිමයි. ඒකට තමයි ප්‍රධාන පාරවල් නැතුව ඕෆ් රෝඩ් හදල තියෙන්නෙ. දෙවියනේ කියල කිසිම වාතයක් නැතුව යාගන්න උපරිමයට අතුරු පාරවල් පාවිච්චි කරන්න ඕනි. අනික තමුන් ඉන්න ප්‍රදේශයේ සාමාන්‍යයෙන් රා-හාමිල රෑට රෑට ඉන්න තැන් දැන කියාගෙන සිටීම වැදගත්. නමුත් ඕෆ් රෝඩ් පහසුකම් නැත්නම් කරන්න දෙයක් නෑ යන්න වෙන්නෙ මහපාරේ.
ඔන්න ඔහොම රෑ ජාමේ යනකොට තමුන්ට ඈතීන පේනවා රා-හාමිල ඉන්නව, තමුන්ගෙ හිතත් දන්නව අහු උනොත් කේස් කියල, ඕන්න නොදැනිම බ්රේක් එකට කකුල ගිහින්. මේක තමයි හැමෝම අතින් වෙන වැරැද්ද. රා-හාමි දැක්කොත් 90% ෂුවර් ඇත දානව. අන්න ඒ හන්ද කොහොම හරි හිතට දහිරය අරන් රා-හාමි දැක්කත් නොදැක්ක වගේ ආපු විදියටම එන්න ඕනි.
අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඔය වගේ වෙලාවට මාරම ඇක්ශන් එකක් දානව. වාහනේ රා-හාමි ලගට එනකොට පොඩ්ඩක් ස්ලෝ කරල ලයිට් එක ගහල හෝන් එකත් ගහල වීදුරුවෙන් පොඩි "ටටා" පාරක් කියාගෙන ඇරල යනව. එතකොට රා-හාමිලට හිතා ගන්න බෑ, මූ කව්ද මේ කියල?? පොර හිතනකොට අපි ගිහින් ඉවරයි. කොහොමද, සිම්පල් ප්ලෑන් එකක්.
හ්ම්ම්ම්,,, ඕක කීවට හිතේ ගට නැත්නම් ක්‍රියාත්මක කරන්න අමාරුයි. බීවම සමහරු ඉමෝෂනල් වෙනවලුනෙ. "අනේ මන්ද. කේස් එකක් වෙයිද? පස්සෙන් පන්නයි ද?" අබල බබල හිත හිත දෙපැත්තට වැනි වැනී ඔයක බෑ.
ඉහත වැඩේ හිතෙන් ඇත ඇරල නම් ඉන්නෙ රා-හාමි වාහනේට අත දාන්න හදනවා නම් තීරණ දෙකක් තියනව. 1) එකක් තමා නොදැක්ක වගේ ඇරල යන එක. 2) අනික් එක පූස වගේ නවත්තන එක.
තීරණ දෙකෙන් පළමු වැඩේ තෝරාගන්න හොදම වෙලාවක් තියනව. ඒ තමයි වැඩි දුරක් නැතුව ඉස්සරහින් අතුරු පාරකට දාල ගෙදරට (හෝ අදාල තැනට) යන්න පුළුවන් තැනක නම්, නොදැක්ක වගේ තවත් ටිකක් පාගල ගිහින් පේන දුරකින් හරි අතුරු පාරකට හැරෙව්වොත් හරි. කචල් එකක් නෑ. ලග ගෙදරකට යන සෙට් එකක් කියල කේස් එක පන්නන් නෑ. පන්නල වැඩකුත් නෑනෙ.
එහෙම අතුරු පාරවල් නැත්නම් තමුන් තීරණයක් ගන්න වෙනව. ඉස්සරහ පොලිසියක් හෙම තියනව නම්, ඔය වගේ භාධක වැඩියි නම් අකමැත්තෙන් උනත් වාහනේ නවත්තන වෙනව. කොරන්න දෙයක් නෑ. නෑ,, නෑ ,, එහෙම නෑ. නැවැත්තුවත් කරන්න දේවලුත් ශේප් වෙන්න ක්‍රමත් සෑහෙන්න තියනව.
2) හරි ඔන්න දෙවැනි තෝරා ගැනීම. රා-හාමිගේ අණට අවනතව වාහනේ නැවත්වීම. ඔන්න ඔතෙන්දි යමක් අපේ සිහියට එන්න ඕනි... මොකක්ද? "විෂ්ණු ශර්මන්"ගේ සුප්‍රකට පංච තන්ත්‍රයේ "අස්ථානයේ ඇත්ත නොකිව යුතුය" කියන එක.
පංච තන්ත්‍රයේ   ඔය කියන කතාව නොදන්නෙක් වෙත් නම්,, ඒ කෙසේද යත්.... වදුරෙක් හා කිබුලෙක් මිත්‍රව සිටින අතර වදුරා හැමදාම කිබුලාට අති-මිහිරි අඹ ගෙඩිය බැගින් ගෙනත් දෙයි. කිබුලාද එය රැගෙන ගෙදර ගොස් කි ඹු ලීට දෙයි. කිඹුලී සිතයි "වදුරා දෙන අඹේ මෙහෙම ස්වීට් නම් හදවත කොහොම ඇත්ද,,". " කිඹුල මට වදුරාගේ හදවත කන්නට ඕනෑය. එය නැත්නම් මට පලක් නැත.. බ්ලා,, බ්ලා,,බ්ලා,," (නොදෝකින්, කිඹුලාගේත් ගෑනු සතා ඔහොම්මය). එකල්හි වදයෙන් බේරෙන්නට බැරි තන්හි කිඹුලා "වරෙන් මචන් වදුරෝ, අද අපේ දිහා රෑ කෑමට සෙට් වෙමු" කියා වදුරා පිටේ තබා පීනයි. ඔන්න ඔහොම එත්දී කිඹුලාට ටිකක් දුක හිතී ටිකක් ජෙනුයින් වෙන්නට හදයි. එනම් අස්ථානයේ ඇත්තක් කියයි. "අඩේ මචෝ සමාවෙයන්, මගේ ගෑණිට උබේ හාට් එක ඕනෑලු. මම මේ තකහනියක එක්කගෙන යන්නෙ ඒකට. මග හිටියොත් මම නසී, ගෙදර ගියොත් තෝ නසී". මේක ඇසූ වදුරාට එක දෙක වී රෝම කෙලින් වී මට කෙළවීය යන්න පසක් කර "කිඹුල් මස්සිනා, මාර සීන් එක. උබ ඕක කියන්න තිබ්බනේ. මම හාට් එක බර වැඩි හන්ද ගහ උඩ තිබ්බනේ,,," අයියෝ "මේ ආපහු හැරෙමු. උබ ඒ මගුලත් අරන් වරෙන්කො."
ඔන්න ඔහොම ටෝකකින් වදුරා ගැල උනත්. අපිත් මතක තබා ගත යුත්තේ "අස්ථානයේ" එනම් රා-හාමි අල්ලාගත් විට "ඇත්ත නොකිව යුතුය" යන්නයි. කොහොමටත් බීලා සුරාමේරය සිල්පදේ කඩල හන්ද මුසාවාදේ කැඩුව කියල අමුතුවෙන් පිරෙන්නට පවක් නැත.

මොනවා කරන්නද, බොහොම රිලැක්ස් එකේ ලියනකොට පීළි පනිනව. ඒ මදිවට දිගත් වැඩි වෙනව. රෑත් වෙලා උදෙත් වෙලා. නමුත් ලියන්න තියන දේ ටිකක් දිගයි. "රා-හාමි සමග ටෝකකට ඇතුළුවීම". "රා-හාමි සමග හිතවත් වීම". "රා-හාමිගේ දුර්වල තැන් අදුරා ගැනීම". "ඊට අනුකුලව පානිය දැමීම". "රා-හාමිට කිසි දෙයක් නොදී මාරුවීම". ඒවාට ඇද බාන බේගල්. ඔක්කොම බැරි නම් 500ක් දී ශේප් වීම". ඔන්න ඔහොම කතාව ගගක් වගේ ලියන්න ඕනි.
දවසක් ඩ්‍රැයිවර් කෙනෙක් මේ ඔක්කොම තුරුම්පු දාලත් හරිගිහින් නෑ. මේවට අහු නොවන නීතිගරුක ජරාව නොකන 0.5% විතර කට්ටිය ඉන්න හන්ද. නමුත් පොරත් වැඩේ අත ඇරල නෑ. නොවදිනා වැදුම් වැද වැද ඉන්න අතරෙ දඩ කොළ දෙන පොත උස්සල, එහෙනම් සර් මම ගියා කියල ඒක උස්සන් ඇවිත්.

එහෙමනම් සමාවෙන්න. අද ලියන පෝස්ටුවට දිග මේ ඇති. "රා-හාමි සමග ටෝකකට ඇතුළුවීම" සිට "බැළුම පිම්බේමේදී දක්වා" ක්‍රියා පටිපාටිය සහ ගැලවීමේ අවස්ථා ඉතිරිය ඊලග ලිපියෙන්.

Saturday, March 10, 2012

ජන/සත්ව සංගණන අනාවැකි,,,

පහුගිය ටිකේම ගෙදර හිටියේ නෑ. අතින් පයින් කට්ට කාගෙන යාළුවෙකුට වතුර ඇද්ද. නමුත් වෙනස් වැඩක් හින්දත් ෆීල්ඩ් වැඩ වලට පොඩි ආසාවක් තියන හින්දත් ඇගේම තියන සබ්ජෙක්ට් එකක් හින්දත් මමත් වැඩේට සෙට් උනා.
වැඩිපුර බ්ලොග් ලියන්නේ කියන්නෙ කොම්පීටර ජිල්මාට් දන්න මහතැන්/මහ තැනීල හින්දත්, මේ වැඩ කොම්පීටර වැඩ වලට වෙනස් හින්දත් මේ අමුතු කේස් එක ගැන චූටි සටහනක් ලියල යන්නම හිතුන.

සිද්දිය මෙහෙමයි. මගේ යාළුව ලංකාවේ එක එක කැලෑ ප්‍රදේශ තෝරාගෙන ඒ ප්‍රදේශ වල ඉන්න සත්තු වර්ගයක් තෝරාගෙන උන්ගෙන් කීදෙනා කීදෙනා ගානේ ඉන්නවද බලනවා. ඔන්න මගෙන් අහන්න එපා මොකටද ඔය ගණන හිලව් හොයන්නේ කියල. මතකනේ පහුගිය කාලේ අලි කීයක් හිටියද කියල ගැන්න. වැඩිය ඕනි නෑ දැන් මේ දවස් වල මිනිස්සු කීයක් ඉන්නවද කියලත් ගනිනවනේ.(ඒ ගැන අන්තිමට කියන්නම්)

හැබැයි ලස්සන වැඩේ කියන්නෙ සත්තුන්ගේ ස්වභාවය අනුව ගනින සිස්ටම් එක වෙනස් කරන්න වෙනව. අලි, කොටි හෝ මිනිස්සු උනත් ගනින්නේ කස්ටිය දාල මේ මේ ටිකේ කියල වෙන් කරලා දීල දවසක් දෙකක් ඇතුලත වැඩේ ඉවර කරනව. නමුත් හිතල බලන්න පොඩි සත්තු, හිතමු මීයො වගේ එකෙක්,,,මොකෝ ලොකු උන් වගේ ගනින්න පුළුවන්යැ.
අන්න එහෙම වෙලාවට උන් කීයක් ඉන්නවද කියල පොඩි එස්ටිමෙට් පාරක් දාන්න අමුතු වැඩක් කරනව. වැඩේට කියන්නෙ " මාක්. රී කැප්චර් මෙතර්ඩ්" කියල. සරල උනත් මාර මෙතර්ඩ් එකක්. මතක තාලෙට ඉස්කෝලේ පොත පතේ නෑ.

1) මුලින්ම අදාල ප්‍රදේශයේ සිතියම අරගෙන උගුල් අටවන තැන් ටික ලකුණු කරගන්නව. අඩි 50න් 50 හරි කොටු රුල් පොතේ කොටු ආකාරෙන් හරි සුදුසු විදියකට.
2) ආපහු කියන්න දෙයක් නෑ ඊළගට ගිහින් පොල් කෑලි ටිකක් ඇමට තියල උගුල් ටික අටවල එන්න වෙනව. උගුල් වර්ගත් තියනව, අල්ලන සතා අනුව උගුල් ටයිප් එකත් වෙනස් කරන්න වෙනව.
3) ඔන්න ඔහොම වැඩේ සෙට් කරල, පැය ගානකින් නැත්නම් දවසකින් විතර උගුල් ටිකත් එක්ක අල්ලපු සත්තු ටික ගේනව.
4) ගෙනත් අහුවෙච්ච උන්ගේ පොඩි සලකුණක් දානව. සලකුණක් කීවේ එක්කෝ උන්ගේ නියපොත්තක් කපනව, නැත්නම් මැකෙන් නැති මාකර් පෙන් එකකින් අපිට විතරක් අදුරගන්න පොඩි තිතක් තියනව. ඊට පස්සේ උන්ටික ආපහු හිටපු තැන් වලටම නිදහස් කරල දානව.
5) ඔහොම ඔහොම දවස් ගානක් උගුල් තියල අල්ලල අල්ලපු උන් සලකුණු කරල අත අරිනව. ටික දවසක් යනකොට මුලින් අල්ලල සලකුණු දාපු එවුනුත් ආපහු උගුල් වලට අහුවෙනව. අන්න එහෙම ටික කලක් යනකොට වැඩේ හරි.
6)පස්සේ පොඩි සමීකරණයකින් ගාන හදනව.

N/n = S/s
නොහොත් [N බෙදීම n සමානයි Sබෙදීම s]

N කියන්නෙ සත්තු ගහනය කීයද කියන එක. අපිට හොයන්න ඕනි එක මේක
n වලින් අදහස් කරන්නෙ උගුල් තියල අල්ලල කීදෙනෙක් සලකුණු කරල ආපහු අතඇරිය මුළු සත්තු ගාන.
S = අන්තිම පාර උගුල් වලට අහුවෙච්ච සත්තු ගාන
s = අන්න ඒ අන්තිම පාර උගුල් වලට අහුවෙච්ච සත්තු ගානෙන් කීදෙනෙක් මුලින් සලකුණු කරපු උන්ද කියල.

කියවගෙන යන කට්ටියට වැඩේ තේරුණාද මන්ද... තව සරල කරොත්, අපි නොදැනුවත්වම ඒ ප්‍රදේශයේ ඉන්න ඔක්කොම සත්තු ටික අල්ලල නම් S = s වෙනව. (අන්තිමට අල්ලපු උන් ඔක්කොම සලකුණු වෙච්ච සත්තු). එතකොට අපි දවස් ටිකේම සලකුණු කරපු ඔක්කොම ගාන මුළු ගහනයට සමාන වෙනව.
හ්ම්ම්ම්ම් ,,, ඔක්කොම සත්තු අල්ලල සලකුණු දාන්න කල් යන හන්දත් ප්‍රායෝගික නැති හන්දත් ටික කලක් සත්තු අල්ලල මුලින් කියපු සමීකරණයෙන් තක්සේරු කරනව. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ...
ලියන්න පටන් ගත්ත අටුවාව නම් ඉවරයි. නමුත් හාවෝ මියෝ වගේද ජනසංගණනය,,,
 ඇත්තටම ලංකාවේ ජනගහනය කීයක් විතරද. ඔය ප්‍රශ්නෙට හරි උත්තර එන්න ජනසංගණන වැඩේ ඉවර වෙන්න ඕනි. නමුත් හරිම හරි උත්තරේ නැතත් ඔය අගය දෙකෝටි තිස්ලක්ෂයට මදක් ඉක්මවා යයි කියල මගේ අදහස. බලමු ජනගහනය ගැන මගේ අනාවැකිය හරි ගියොත් මේ පාර අවුරුදු උත්සවේ පැපොල් ගෙඩියේ ඇට ගානත් හරියන්න පුළුවන්..........

Tuesday, March 6, 2012

මැච් එකේ විස්තර...

ලෝකේ අනිත් පැත්තට කැරකුනත්, මැච් එක වෙලාවට අපි ටී.වී එක ලග. ටීවී තියෙන්නෙ ගෙදරනේ,,, අන්න ඒ හින්ද ඔන්න මම මෝඩ වැඩක් කළා. මැච් බලන නැති පොරවල් වලටත් බලෙන්ම හරි පෙන්නල වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න මගෙන් අහිංසක මෝඩ වැඩක්...යටින් මැච් එක පේනවා කියල හිතෙනව. (පේන්නැත් නම් විනාඩියක් ඉවසන්න ඇඩ් යනව - ඉවසලත් පෙන්නැත්නම් මැච් එක ඉවරයි)
වේබ් වැඩ දන්නැති කෙනෙකුට උනත් දාගන්න ඔන්න පල්ලෙහා ලින්ක් එක.
<iframe frameborder=0 marginwidth=0 marginheight=0 scrolling=no width=568 height=490 src="http://www.cricvid.in/Channeles/Channel4.html"></iframe>

Tuesday, February 14, 2012

අමන දනන් කෑගැසුවත් හතර වටේ,,

ලංකාව නම් අමුතුම රටකි. ලෝක තෙල් මිල ඉහල ගිය සැනින් මෙහෙත් මිල උස්සයි. තවම ඒ ගණන වලට තෙල් කදුලක්වත් අරගෙනත් නැත. ගොන්කම කියන්නෙ මිල වැඩි කලාම එන ප්‍රශ්න ගැන හිතලාවත් නොමැති කම. 
ඔන්න අද උදේ ITN නිව්ස් දැම්මම බස් වර්ජනය ගැන කිවේ මාර කතාවක්. එක සේවක සංගමයක් වර්ජනය කරනවා නමුත් අනිත් ඒවා දුවනව කියල. ඔන්න අර දුවන සංගමේ එකෙක් ඇවිත් අනිත් සංගමේට දෙහි කැපුවා. ඊළගට වර්ජනේ මිනිස්සුන්ට වදින්නේ නැති දෙයක් වගේ පොඩි ටෝකක් දුන්න. අනේ මන්ද දැන් රජයේ මාධ්‍ය රාජපක්ෂ පවුලට කඩේ යනවා වගේ කාලයක් ප්‍රේමදාස මහත්තයටත් කඩේ ගියා. වන්දි භට්ට සේවාව  කියන එක ITN කියනවට වඩා ගැලපෙනව.
කොහොම උනත් මොකක් හරි ලබාගන්න නම් වර්ජනයක් කරන්නම ඕනි තත්වයට රට පත්වෙලා. මගේ අදහස නම් බස් වර්ජනය හරියට හරි. මොකද ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් කරන්න ඕනි. කුමාර වෙල්ගම කියන   ප්‍රවාහන ඇමටිට උකුනෙක්ගෙ සයිස් මොළයක් තිබ්බ නම් ප්‍රස්නේ ඇති වෙන්න කලින් විසදන්න තිබ්බ.
හලාවත ධීවරයින් කරපු වැඩෙත් හරි. එහෙම නැත්නම් මහා රජාගේ ඇස් ඇරෙන්නේ නෑ. තගරියට තේරෙන්නෙ තගරි බාසාවෙන්මයි කියන එකයි ඕකෙන් ඔප්පු වෙන්නෙ.

ඔන්න ලියාගෙන යනකොට වැලන්ටයින් දවසත් ඇවිල්ල ... හරියට 12 යි වෙලාව. වැලන්ටයින් දවසෙම බස් ගාස්තුත් වැඩිවෙලා. බුමිතෙල් අනං මනං වැඩි හින්ද කෑමත් ගණන්. මේ මාසෙම ගෑස්, ලයිට් බිල් ඒවත් වැඩි වෙනව. හැබැයි මොක වැඩි උනත් රට කරවන සෙට් එකේ ගසා කෑමත් නාස්තියත් අඩුවෙන පාටක් නෑ. අවංකවම මට තියන දුක රටේ සම්පත් ටිකත් උන්ගේ බූදලය කියල හිතල විකුණන් කන එකට. 
පුංචිම උදාහරණයක් කිවොත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට වගාකරන්න බිම්අගලක් ගන්නත් අමාරුයි. CIC එකට අක්කර දාස් ගානක් කුණු කොල්ලෙට දෙන්න පුළුවන්. ඒකත් නැෂනල් පාක් එකකින්. නීතියට අනුව නම් ඇතුළු වෙන්නත් අවසර ගන්න ඕනි. මාධ්‍ය කරුවනුත් අඩුම තරමේ නෙත් fm කට්ටියත් මේවට වැඩිය සද්ද දාන්නෑ.
හරි,,,, මම මේ පොස්ට් එකෙන් කියන්න අදහස් කලේ මේ විදියට රට ඉස්සරහට ගෙනියන්න නම් මොන මොනවද කරන්න ඕනි සහ කරන්න වෙන්නෙ කියල. අන්න ඒ දේවල් ටික අහන්න පුළුවන් පල්ලෙහා යූ-ටියුබ් ලින්ක් එකෙන්. 
නමුත් ඔතෙන්ට "සංචාරක කරුමාන්තේ කියල සංස්කෘතියම විකුණගෙන නැති කරගන්න  එකත්", "වෙන රටවල් වලට ගිහින් අපේ මිනිස්සු හම්බු කරන එකෙනුත් ගාන කපාගන්න එකත්" එකතු කරන්න ඕනි. ඇයි "තෙල්ටික, ඒකත් මොකෙකුට හරි පොස්පේට් ටික දෙන්න හැදුව වගේ දීල දාමු"...මොකද ඔය දෙක තුනම අද හෙට වෙනව. 






Sunday, February 12, 2012

යුධබිමේ අමතක සටහන්...

යුද්ධයේ පැතිකඩක් තිරයට නගන "මාතා" මේ දවස් ටිකේ උණු උණුවේ ප්‍රදර්ශනය වෙනව. මුල් පැය බාගෙ නම් උපරිමයි. හිතාගන්න බැරි තරම් උපරිමයි. නමුත් පස්සට යද්දී කතාවේ ෆ්ලෝ ඒකට අදාළ නැති දේවල් දාල හමුදාවේ වැඩ කිඩ ටිකකුත් තියනව. කොහොමත් පොස්ට් එකේ අරමුණ ඔය ෆිල්ම් එක නෙමේ. ෆිල්ම් එකක් කරන්න පුළුවන් තවත් කතාවක්.
හරි ඉතින් ඔය ෆිල්ම්, නවකතා වගේ දේවල පොඩි ඇත්තකුත් ඒ ඇත්ත ඇතුලේ ලොකු ප්‍රබන්ධයකුත් ගොතල තියනව. පෝසත් කෙල්ලෙක් අන්තිම දුප්පත් කොල්ලෙක් එකක පැනල යනව නැත්නම්  කොල්ල දහයකට පහළොවකට ගහල කෙල්ලෙක් බේරගන්නව. කදුළින් තෙත් උන ප්‍රේමකතා සහ සටන් එදා වගේම අදටත් හොදට මාකට් වෙන ටොපික්.
නමුත් සත්‍ය ලෝකෙත් බොහොම විරලව හරි ඔයවගේ සිදුවීම් නෑ මයි කියන්නම බෑ. තියනව. නමුත් විවිධ හේතු හින්ද හරියට එළියට එන්නෙ නෑ.
මම කියන්න හදන කතාව සිද්ධ උනේ යාපනය ප්‍රදේශයේ, කොටි කචල් උපරිමයට තිබුන දවස වල. කොටින්ගෙ පිස්තෝල කල්ලිය, හමුදාවටයි පොලිසියටයි මහා වාතයක් වෙලා තිබුන. ඉස්කෝලෙ ළමයි එක්ක ඇවිත් වෙඩි තියල  ශේප් වෙනව. දවසක් ඔන්න ඔය පිස්තෝල කල්ලියේ සෙට් එකක් අල්ලන්න කියල ඔත්තුවකට සීමිත නිලධාරීන් පිරිසකගෙන් හැදුන භට පිරිසක් මහ රෑ පොඩි මෙහෙයුමක් කළා. නමුත් අවාසනාවකට කොටි මේ ගැන සෙවිල්ලෙන් ඉදල.
හමුදාවට සිද්ද උනේ ඉල්ලගෙන කනව වගේ වැඩක්. කොටි වටකරගෙන වෙඩි තියනකොට ජීවත් වෙන්න තියන වාසනාව නැතිවෙලා ගියා. ඒ වෙනකොට පලාලි වලත් දරුණු සටන්. කොහොම හරි සපෝට් එකට වැඩිපුර භට පිරිසක් ලැබුනේ නැහැ.
ෆිල්ම් වල වගේ ඇත්ත ජීවිතේ වැඩ සිද්ද වෙන්නේ නෑ. එතන හමුදාවේ හිටපු ඔක්කොමලට වගේ ජිවිතය නැති උනා.
තමුන්ගේ සහෝදරයො ටික වෙඩි කාල වැටෙනකොටත් නොසැළී සටන් කරපු කෙනෙක් හිටිය. ඔහු තරමක උසස් නිලදරුවෙක්. අන්තිමට ඉතුරු වෙලා හිටපු ටික දෙනාත් එක්ක ප්‍රතිරෝධය අඩුම පැත්තකින් ආපහු පහු බහින්න අන්තිමට තීරණය උනා. කොහොමත් ඒ වෙනකොට උපදෙස් ලැබිල තිබ්බේ පහුබහින්න මොකද පහළොවක් විස්සකට, සියක් එකසිය පනහක් එක්ක හැප්පෙන්න බැරි හන්ද. ඔන්න ඔය කියපු පහු බහින වැඩේදි මම අර කියපු නිලධාරියාට පිටුපස්සට එන්න බැරි උනා.
ඔන්න කට්ටිය කෑම්ප් එකට ගිහින් බලද්දී අර නිළධාරියාත් මිසින්, වෙන විදියකට කිවොත් මැරිල. නමුත් බොඩියක් නැති හින්ද හැමෝමව වැටුනේ අතුරුදන් වෙච්ච ගොඩට. මේ කියන දවස වල කොටින්ට හමුදාවේ කෙනෙක් අහු උනත්, හමුදාවට කොටින්ගේ කෙනෙක් අහු උනත් වෙන්නේ එකමදේ. එහෙම නැතුව දැන් කේ.පී ට වගේ කේක් කවල කොපි පොවන්නෑ.
ඔන්න කට්ටිය හිතන ඉන්නේ අරය නැති උනා කියල. ගෙදරටත් පණිවිඩය ගියා. හැබැයි ඇතටම එහෙම උනේ නෑ. එවෙලේ ඔහුට පස්සට එන්න බැරි උනත්, ඇග පුරාම තුවාල වෙලා දුවාගන්න බැරි උනත්, හොදට සිහිකල්පනාව තිබ්බ. කෙලින් හිටගන්නවත් පණක් තිබ්බේ නෑ. මහ රෑ කළුවරේම හැංගෙන්න තැනක් හොයා හොයා බඩගෑව. අන්තිමට ඔහු තරමක ජනාකීර්ණ නිවාස පේළියකින් යුක්ත තැනකට එනව.
වටින ගොඩින් එලිය වැටීගෙන එනකොට ඔහුටම තේරෙනව තවත් මෙහෙමම හිටියොත් නිකන් බෙල්ල කපාගත්ත වගේ වෙනවා කියල. අන්න එහෙම හිතල ඔහු තමන්ගේ සසරේ ගත්ත නිවැරදිම තෝරා ගැනීම කරනව.
ගෙවල් අතරින් තරමක ලොකු නිවසකක් බලල අන්න ඒකට ගිහින් දොරට ගහනව. ජීවිතය පුදුමාකාරයි කියන්නේ මේවගේ දේවල් වලට. ඒ ගෙදර හිටියෙ තරුණ දොස්තරවරියක්. කොටින්ගේ පාලනය තිබ්බ තැනක උනත් ඇය ඔහුට උදව් කළා. බරපතල තුවාල තිබ්බ ඔහුට හැකි පමණ බේත් දීල දවස් කීපයක් කාටවත් නොකිය හොරෙන් ගෙදරම නවත්ත ගත්ත.
ඒත් ඇයට ලොකු ප්‍රශ්නයක් ආව. මොකද මෙයාව ඉස්පිරිතාලෙකම නවත්තන්න ඕනි හින්ද. තුවාල ඒ තරම් බරපතලයි. කොටි ඉන්න පැත්තෙ නවත්තන්න බෑ අහුවෙනව. ඇය වෛද්‍යවරියක් නිසා  කොහොම හරි රජයේ පාලන පැත්තට ආවත් හමුදාවට ගිහින් මෙයාව බාර දෙන්න බෑ. ඒක කොටින්ට ආරංචි උනොත් තමනුත් ගෙදරත් ඔක්කොමල ඉවරයි. හමුදාවෙනුත් කරදර. ඔය ගැටළු වලින් බේරෙන්න ඇය ඔහුව කොහොම හරි මාතලේ පැත්තට ගෙනත් මෙහේ රෝහලක නවත්තනව.
ඔන්න හොහොම යන්තම් අපේ කතාවේ මාතෘකාව වෙච්ච නිලධාරියාගෙ පණ රැකෙනව. ටික දවසක් යනකොට යාපනේදී මැරුන කියල හිතපු කෙනා යුද්දේ ගෑවිලා නැති පැත්තක ඉස්පිරිතාලෙක ඉන්නව. දෙපැත්තේම බුද්ධි අංශයේ කස්ටියට ලජ්ජා සහගතයි. මොකවත් දන්නේ නෑ.
කතාව ඔහොම ඉවර වෙන්නේ නෑ. ගොඩක් ලස්සන වෙනව. කෙටියෙන්ම කීවොත් අර  වෛද්‍යවරිය යාපනේ දාල රජයේ පාලන පැත්තට එනව. ඒ විතරද අර නිලධාරියා තමුන්ව බෙර ගත්ත වෛද්‍යවරියත් සමග විවාහ වෙනව. ආදරේට ජාති භේද නෑ කියන්නෙ ඕවට.
කතා වල තිබ්බට ඇත්තටම මේවා  වෙනවද කියල හිතාගන්නවත් බෑ නේද.. ඔව් මේක ඇත්තම කතාවක්. මේ කතාව හමුදාවේ ගොඩක් දෙනා දන්නව. ඒ හින්ද පුද්ගලිකත්වය නැතිවෙන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ. මට හිතෙන විදියට අර හමුදා නිලධාරියා එහෙම නැත්නම් "මේජර් තල්ගස්වෙල" තවමත් හමුදාවේ වැඩ.
නමුත් මේ සිද්දියෙන් පස්සේ ඔහුගේ හමුදා ජීවිතය ගොඩක් හැලහැප්පීම් වලට ලක් උනා. උසස් වීම් ලැබුනේ නෑ. "එකපාරට යාපනේ කෙල්ලෙක් බැන්දේ කොහොමද", "කොටින්ගෙම ට්‍රික් එකක් ද" දහසක් ප්‍රශ්න. කොටින්ම හමුදාව ඔහුට පල නොකිය පලා බෙදුව. ජෙනරාල්තුමාත් ගෝඨාතුමාත් කොටි ගෑවිච්ච කවුරුත් ලගට ගත්තෙ නෑ. බලතල දුන්නෙත් නෑ.  එක අතකට ඒකෙ වරදකුත් නෑ. මොකද මුත්තයියා මුරලිදරන් හැරුනුකොට අනිත් හැම ද්‍රවිඩයාම කොටියෙක්දෝ කියල සැක කරපු කාලයක් හින්ද.
ම්ම්ම්ම්,,,,,, ඒ කාලේ ඉවරයි. යුද්ධයත් ඉවරයි. දැන් ලෝකේ පෙරලිලා. ජෙනරාල් හිරේ. කරුණා ජොලියෙ නයිට් ක්ලබ්වල. එතකොට කේ.පී, පොර ෆුල් කූල් එකේ කේක් කනව. පිල්ලෙයාර් තවත් මොකක්දෝ හුට්ටප්පරයක් කරගෙන... කොහොම කොහොම හරි  අපේ කතාවේ දෙන්නටත් දැන් කරදරයක් නෑ මගෙ හිතේ....
කවදාහරි මාතා එකේ "පාර්වතී" සහ "යෝගරාජා" වගේ මේ කතාව අල්ලල ෆිල්ම් එකක් ගහන්න බැරිකමකුත් නෑ.

මේ කතාව ලියන්න මතක් උනේ "මතක මංපෙත" නැත්නම් "අහස් ගව්ව"කියන බ්ලොග් එකේ ලිපියක් කියවනකොට. යුද්දේ සැගවුනු කතා වලට කැමති නම් "මතක මංපෙතත්"  අමතක කරන්න එපා.