Saturday, May 18, 2013

හතරකට පසුව උතුරු සටහන්,,,

සුනාමියක් ආවේ නැතිනම් අපේ අති බහුතරයක් "සුනාමි" කියන්නේ හෝටලයක නමක් පමණක් ලෙස හෝ කිසි දෙයක් නොදැන ඉන්නට බොහෝ සේ ඉඩ තිබුණි.
එසේම,
ප්‍රභාකරන් නොවන්නට නන්දිකඩාල් නමින් කළපුවක් තියනවායැයි රට්ටු නොදැනගන්නටත් ඉඩ තිබුණි.
නන්දිකඩාල් දැන් තත්වය (Feb, 2013)

මීට පහළොස් වසරකට පමණ පෙර මියැදුන මාගේ මාමා කෙනෙක් සිටියහ. ඔහු දෙවන ලෝක යුද්දයට එකල ලංකාවෙන් සහභාගීවූ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි. ජීවත්ත සිටියදී ඔහු අපිට කිවේ, "මල්ලී මේ යුද්ධ කියන ජාතිය මේ කරන විදියට කරන්න බෑ". "යුද්ධ කරනවා නම් ගහගෙන යන්න ඕනි. ඉස්සරහට එන ගෑනිද, බල්ලද, මොකාද  කිය කියා ඉදල යුද්ද කරන්න පුළුවන්ද". ඔහුට අනුව ජපානයට ලිට්ල් බෝයි දමා නිහඬ කිරීම අතිශය සාධාරණ දෙයකි. "ජපනාට එක වෙඩිලක් හරි තියන තැනක් දැනුනොත් අහස්යාත්‍රා තුන්හාරසීයක් ඇවිත් පැත්තම අළු කරනව. උන් මොකෝ ළමයි, ගෑණු, වයසක මිනිස්සු තෝරනවද." එදා ඔවුන් සහභාගී වූ යුද්දයට අනුව ඊළාම් යුද්දය සත්‍යයෙන්ම ළාමක දෙයකි. සුළු පරිමාණ සටනකි. එවැනි ළාමක දෙයක් ඉවර කරන්නට බැරිවීම ගැන ඔහු මියයන තෙක්ම සිටියේ බොහෝ දුකිනි.
යුද්ධය හරි හැටි කෙරුනේ චන්ද්‍රිකාගේ මුල් කාලයේත් (රිවිරැස) ඉන්පසුව මහින්දගේ කාලයේත් බව මගේ පිළිගැනීමයි. චන්ද්‍රිකා එන්නට පෙර ඊළාම් නිජබිම යාපනය මිස කිලිනොච්චිය නොවේ. අවසානයේ අලිමංකඩ පැරදුනත් යාපනය හමුදාව අතේ තිබීම කොටින්ට එදා තිබූ ප්‍රධාන බිදවැටීමක්.

අලිමංකඩ කියූ සැනින් ඔබට මතකයට නැගෙන පුද්ගලයෙක් සිටී.
ඔව්, ඒ හසලක වීරයායි.

හසළක වීරයාගේ සටහන, අලිමංකඩ  (Feb, 2013)

හසළක වීරයා දිවි දුන් බුල්ඩෝසරය (Feb, 2013)

දකුණේ අපිට භීෂණය දැනුණේ අසූනවය කාලයේදීයි. කෝච්චියේ බෝම්බත්, පිටකොටුවේ බෝම්බත් පිපිරී සිය ගණන් මියගියා සත්‍යයි. නමුත් අපේ මාමා කියූ පරිදි ඇත්ත විදියට යුද්ධය කල අවසාන වකවානුවේ ඊට කොටු උන උතුරැකරයේ ජනතාවගේ තත්වය කොතරම් පීඩිත වන්නට ඇතිද. එයින් දාහෙන් එකක්වත් දකුණේ බහුතරයට නොදැනෙන්නට අපි වාසනවන්ත වීමු.  උපන්දා සිටන් එකතුකළ රත්තරන් ටික කෑම වේලකට හුවමාරු කරන්නට අපට අවැසි නොවිණි. ගෙවල් දොරවල් යාන වාහන සියල්ල ගිනිබත් වී වන සතුන් මෙන් මහමග හුස්ම පොද යැව්නේත් නැත.

මුලතිව් මාර්ගයේ පසෙක විනාශ කල වාහන කොටස් (Fed, 2013)

එකල අනුරාධපුර කනත්තට දිනපතාම වාගේ ගෙන ආවේ හමුදා සාමාජිකයින්ගේ සිරුරුද, කොටි ද නැති නම් සිවිල් වැසියන්ගේ ඒවාද කියන්නට මා දන්නේ නැත.  බොහෝ දුරට ඔය තුන් කාණ්ඩයේම ඒවා තිබෙන්නට ඇති.

ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට මෙසේ ජීවිත වලින් වන්දි ගෙවීමේ තැන ආරම්භය කොතැනද,
දෙමළ ජාතිවාදය ආරම්භ කල චෙල්වනායගම්ලාද........?
ප්‍රභාකරන්ද........?
හැත්තෑ ගණන් වල සිට යාපනයේ තරුණයන් මර්ධනය කර, අසූවේ දකුණෙන් ගොස් යාපනයට ගසා පුස්තකාලයත් ගිනිබත් කිරීමද........?
අසූ තුනේ කළු ජූලියෙන් රටේ අහිංසක දමිළ ජනතාව මරා දැමීමද........?
මේවා අතීතයට අයත්. ඒ කුණු අතීතය එකිනෙකාට හුදෙක්  වැරදි පටවන්නට ඇවිස්සවිය යුතු දෙයක් නොවේ. නමුත් අප අතීතය අමතක කල යුතුද නොවේ.

දැන් කියන්නට තිබෙන්නේ උතුරේ වර්ථමාන සංචාර කතාවයි.
අද වන විට අවම සෝදිසි කිරීම් සහිතව උතුරට ගමන් කිරීමේ පහසුකම් ඇත. කන්කසන්තුරේ පොයින්ට් පේදුරු දක්වා යාහැක.
කන්කසන්තුරේ නවාතැන් පහසුකම් සපයාගැනීමට "තල් සෙවණ" ඉතා සුදුසුයි.
දඹකොළපටුන, නාවකන්නි ළිඳ මෙන්ම නාග දීපයටත් අපහසුවකින් තොරව ලගා විය හැකියි.
නල්ලූර් කෝවිලත් හැමෝම රස විදින අයිස්‌ක්‍රීම් මග නොහැරිය යුතුයි.
යාපනය මාකැට්ටුවේ පස්ගෝ රස නෙල්ලි ඕනෑ තරම්. හොද තල් හකුරුත් සොයා ගත හැකියි.
ලෙයින් තෙත් උනත් අලිමංකඩ සුන්දර තැනක්.
ඔබගේ ගමන අවශ්‍යනම් මුලතිව් දක්වා දීර්ඝ කල හැකියි.
ෆාරා නැවත්, නටබුන් වූ ගොඩනැගිලිත් ශාපලත් අඩවියේ ස්මාරක තවමත් ඇත.
එමෙන්ම නන්දිකඩාල් කලපුවේ සිසිලසට මුවාවූ මොකක්දෝ අමුත්තක් ඔබේ සිත බියපත් කරාවි.

වැඩිපුර පින්තූර දමා පෝස්ටුව ලොකු කරන්නට අදහසක් නැත. උතුර දැනෙන්නට නම් එහිම යායුතුය. එසේනම් අද ලිපිය මෙසේ නවත්වන්නම්.

උතුරුකරයේ මුලතිව් පැත්තේ සංචාරයක් ගියාට කම් නැත. පෙර පරිදි වැඩි කරදර නැත. නමුත් එක් අවවාදයකි.
අවවාදය කුමක් විය හැකිද???????? පුරුෂයන්ට විශේෂිතයි. අනුමාන කල හැකිද??????


¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯

පම්ප් ඇල්ලීමට පාරෙන් පිට නොපනින්න. හැමතැනම බෝඩ් නැත. එහෙත් බට්ටන් සිටිය හැක.

බිම් බෝම්බ ඉවත් කරන නිලධාරීන් පිරිසක්- අලිමංකඩ (Feb, 2013) 


Friday, February 22, 2013

පොත්ත සුදු, ඔරිජිනල් "පිටකොටුවේ අන්ඩර් කට්"

මම දන්නා ධනවාදයක් නැත. සමාජවාදය ගැන දන්නා අටමගලයකුත් නැත. ඔය දෙකම දන්නා විද්වතුන්, මහා චාරියාවරුන්/වරියන්  කොළඹ මාකැට්ටුව්, මාළු කඩේ වෙන ජිල්මාට් දන්නවාදැයි දන්නේත් නැත.

"මල්ලී, අන්ඩර් කට් එකක් බාමුද?".... ඒ කාලෙකින් කතා කලේ දෙහිවල-නිමල් මුදළාලියි. ගම දෙහිවල උනත් බිස්නස් පිටකොටුවේය. එනම් දෙහිවල-නිමල් බිස්නස් වැඩ පිටකොටුවේයි. පිටකොටු සංස්කෘති වචනත් එහි ඇති සංකීර්ණ බිස්නස් ජිල්මාටුත් දන්නේ එහිම හැදී වැදී චාටර් උන අතලොස්සකට පමණි.
"අන්ඩර් කට්" බෑමෙන් රෙපාටත්, මුදලාලිටත්, පිටකොටු කස්ටමර්ටත් අත්වන්නේ වාසියකි. සරලවම බඩු මිල අඩුවේ.

"අන්ඩර් කට්" යනු කුමක්ද?? වැඩේ වෙන්නේ කෙසේද???
කොම්පැනියෙන්ම කඩවල් ළගට ගෙනත්දී, කඩේට විකුණන ගානටත් අඩුවෙන් පිටකොටුවේ  කඩවල බඩු විකිනෙන්නේ කෙසේද? කෙසේද යත් ඒ පිටකොටු "අන්ඩර් කට්" ආනුභාවයෙන් පමණි.
"අන්ඩර් කට්" ගැන ලියනවා නම් සතියක් උනත් ලියන්නට පුළුවනි. මොන බඩුද, මොන කාල වලද, හොර වැඩ අල්ලනේ කොහොමද, දෙන්නේ මොන කඩ වලටද ආදී කාරණා රාශියකි. ඒ හන්දා ලිපිය මාගලක් නොකර පොඩියෙන් ලියන්නට උත්සාහ ගනිමි. පියවරෙන් පියවර ලියන්නම්.

පලවෙනි පියවර
සේල්ස් රෙපා, දෙහිවල නිමල් මුදළාලිගේ කඩේට කොහොඹ සබන් ලොකු පෙට්ටි සීයයක්‌ ලබා දෙයි. රෙපා ස්වදේශී ආයතනයේ පොරක් යයි සිතමු. (ස්වදේශී ආයතනයේ කිව්වේ අර "කොහොඹ සබන්" ගහන්නේ) වැදගත් බිස්නස් ට්‍රික් එක නම් රෙපා හෝ ඒජන්ට් නිමල් මුදළාලිට සබන් දෙන්නේ අමුතුම ක්‍රමයකටයි. සාමාන්‍යයෙන් කොහොඹ සබන් කැටයක් විකුණන්නේ රුපියල් විසි පහකට නම් ඒජන්ට් එය මුදලාලිට දෙන්නේ විසි දෙකකටය.   ඒජන්ට් එය රුපියල් විස්සකට කොම්පැනියෙන් ගන්නවා යයි සිතමු. එමෙන්ම අදාළ මුදල ගෙවීමට ස්වදේශී ආයතනය දින හැටක කාලයක් (ක්‍රෙඩිට් ලිමිට්) දෙනවා යැයි සිතමු.

මෙතෙන්දී රෙපා හෝ ඒජන්ට් නිමල් මුදළාලිගේ කඩේට කොහොඹ සබන් දෙන්නේ විසි දෙකකට හෝ විස්සකට නොවේ රුපියල් දහ අටකටය. ගේම තියෙන්නෙ ඔන්න ඔය කාරණාව මතයි. මුදලාලිත් රෙපාව නිකන් අරින්නේ නැත, එවේලේම මුළු මුදලම කෑෂ් වලින්ම ගෙවා දමයි.
රෙපාට කැටයකින් රුපියල් දෙකක් පාඩු උනත් සල්ලි කොළ වලින්ම ලැබේ. රෙපා නිකන් ඉන්නේ නැත. දවසකට සීයට දහයේ පොලියට දෙයි. ගංජා බිස්නස්, කාන්තා බිස්නස්, අරවා මේවා රාශියකි. සල්ලි හොයන්නට සල්ලි තිබිය යුතුයි. සල්ලි සෙටල් කරන්නට දින හැටකුත් ඇත.

දෙවෙනි පියවර
නිමල් මුදලාලිට සබන් ලැබුනේ රුපියල් දහඅට බැගිනි. පොරත් එවෙලේ සිටම තොගේට සබන් විකුණයි. ඒ කැටයක් රුපියල් දහනවයක් වන පරිදිය.
ඒජන්ට්ගෙන් ලැබෙන්නේ විසි දෙකකට නිසා කඩ කරුවන් පෝලිමේ පැමිණ දහ නවය ගානේ සබන් ගෙන යයි. හිතන්න ඒජන්ට්ගෙන් ගන්නවාට වඩා එක කැටයකට තනිකරම රුපියල් තුනක් ලාබය. කැට පන්දහක් වික්කොත් කෙළින්ම ලාබය තිස් දහසකි. ඉතින් කඩ කරුවන්ටත් ටිකක් වැඩිපුර සබන් කැට ගන්නා කස්ටියත් ලෝබ නොවී ලැබුණු අවස්ථාවෙන් වැඩිපුර සබන් ගෙනයයි.

තුන්වන පියවර
නිමල් මුදලාලිගේ බඩු ගාන අඩු නිසා ඉක්මනින් ඉවර වෙයි. කොහොඹ කැට පනස්දාහම සතියකින් විකිනී හමාරය. කැටේකින් ලැබෙන්නේ රුපියලක් බැවින් ඉක්මනින්ම තවත් සේල් එකකට ඇත ගැසිය යුතුය. එනම් තවත් පනස්දාහක් බාන්න කාලය හරිය.  දුරකථනයෙන් "මල්ලී, අන්ඩර් කට් එකක් බාමුද?"....

හතරවන පියවර
රෙපා තවත් තොගයක් නිමල් මුදලාලිට දෙයි. නමුත් අන්ඩර් කට් බෑම හැම රෙපාටම කල නොහැකියි. ලැබුණු කෑෂ් වලට වටිනා කමක් දෙන, එය යොදවා මුදල් හම්බකරන, තගරියට බර පොරක් විය යුතුයි. එනම් හැම රෙපෙකුටම ඔව්වා කල නොහැක. නිමල් මුදලාලිටත් ඔව්වා කරන්න ඉන්නේ එක රෙපෙකි. ඒ රෙපා අම්බානකට බිස්නස් කරන විට අනික්‌ රෙපාලාට යන එන මං නැත.

තවත් විස්තර කරන්නට නම් පියවර රාශියකි. බඩුව ජනප්‍රියතාවයෙන් අඩු වෙනවාලු. හැම කඩේකින්ම ගැනීමට තියන අවස්ථාව අඩු වෙනවාලු. නමුත් ඔව්වා ගැන වග කියන්නට අපිට උවමනාවක් නැත. ඒ සදහා SIM, SIMA පාස් පොරවල් ඇනලයිස් කර වාර්තා දෙනවා ඇත.

වැඩ ඔරිජිනල්, බඩු ඔරිජිනල්, හොර නෑ, බොරු නෑ, පැකිං පිටින් අරං යන්න  "පිටකොටුවේ අන්ඩර් කට්" !!!

Saturday, February 9, 2013

පින්තුරේ බඩ්ඩ,,,

මුලින්ම පල්ලහා තියන වැදගැම්මකට නැති මං ගත්ත වැදගැම්මකට නැති පින්තුරේ බලන්න. මෙව්වගේ පොටෝ මීට කලින් අරං තියෙන්නෙ ගැරී වින් විතරයිළු ඉතින්. (මමම, මං ගැන ටෝක්ස් නොදී කව්රු දෙන්නද)



පින්තුරේ වැදගැම්මක නැති උනාට වැදගැම්මකට ඇති බඩ්ඩක් ඔයකේ තියනව. බඩ්ඩක් කිවේ සල්ලි බාගේ තියන කස්ටියට අල්ලන්ට පුළුවන් බඩ්ඩක්.

හින්ට් එකකුත් දෙන්නම්.
පින්තුරේ වම් පැත්තේ තියෙන්නෙ බ්ලුමැන්ඩල් කුණු ගොඩේ මායිම. දකුණු පැත්තේ කොන පෑලියගොඩ පැත්ත. සරලවම කැළණි ගඟට මෙහා පැත්ත සහ එහා පැත්ත. ඔය අතරේ තමයි මේ සීන් කෝන් එක වෙන්නෙ. මේ සීන් එකම නුවරඑළියෙත් වෙනවා තමයි ඉතින්.
පින්තුරේ පැහැදිළි කල හැකිද??? අමාරු නම් පින්තුරේ උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න.

Monday, January 14, 2013

අල්ලා දෙවියන්ගේද?,,,

සුනාමි පැමිණි විට.
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ජීවිත ඉල්ලා ගත යුතුය.

ගංවතුර ගැලූ විට.
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ආධාර ඉල්ලා ගත යුතුය.

ලෙඩ දුක් වූ විට,
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම බේත් ඉල්ලා ගත යුතුය.

බිස්නස් බංකොලොත් විට,
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම සල්ලිත් ඉල්ලා ගත යුතුය.



පල්ලෙහා වීඩියෝවෙන් කියන දේ ඇත්ත නම්, මම උඩ කියපුව බොරුද බොලව්.



ප.ලි :
මෙහි දැමූ සමහර පාඨක අදහස් නිසා මෙම කොටස පසුව එක් කරන ලදී.
ලිපියේ අදහස කිසිසේත්මබහුතර මුස්ලිම් ජනතාවට,  ආගමට හෝ වෙනත් කිසිවෙකුට නින්දා කිරීමට නොවේ. 
මෙහි අදහස් කරන්නට උත්සාහ ගත්තේ සාස්තෘවරු කියූ දේශනා යැයි කියාගෙන මිනිසුන් කොපමණ අන්ධව සිටිනවාද, වැරදි තීරණ ගන්නවාද, ඒවා සරලවම කොතරම් අතාර්තිකද, එහෙත් ඒවායේ අතාර්තික කම සැලකිල්ලට නොගෙන ඒවා පිළිගන්නවාද යන්න ඉදිරිපත් කිරීමයි.

Wednesday, January 9, 2013

සිව්වැනි බිරිඳ ,,,


ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.
එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.
දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.
තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.
අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.
දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.
ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”. “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.
එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා. මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.
එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?” “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”
මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.
එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”
“මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.

දැනමුතුකම:
*
*
*
*
*

ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.

01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.







හීයකින් ආ පරණ ලිපියක් ගෙඩි පිටින් උපුටා ගැනීමකි.

Saturday, January 5, 2013

කතරේ අතරමග,,,

සමහර දේවල් පත්තර වලින් දේශන වලින් කොච්චර කිවත් මිනිස්සුන්ගෙ හිත්වලට වදින්නෙ නෑ. අසාර්ථක වෙන සීයට අසූව අනූව දිහා නොබලා සීයට පහ හෝ දහය දෙස බලාගෙන බොහොම අවදානමක් ගන්නව. ඔස්ට්‍රේලියා හොරෙන් යන්න ගිහින් මගදී අතරමං වෙච්ච බෝට්ටුවක් ගැන අදත් ප්‍රවෘත්ති වලට කියනව මම අහගෙන.
අන්න එහෙම දෙයක් ගැන හිතට වදින විෂුවල් එකක් සහිත සින්දුවක්.



මතක තියාගන්න මැරුණත් ඒජන්සියෙන් නම් හොයල බලන්නේ නෑ.

Monday, December 31, 2012

කලර්ෆුල් අව්රුද්දක්,,,

එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ.  එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ.


වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර.
ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට ජොලි කරන රට කියල බ්ලොග් වලයි, තව තව මීඩියා වල තිබ්බ කස්ටිය දකින්න ඇති.
එහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!