Wednesday, August 22, 2012

"සැලීරා" ඔරිජිනල්ද,,,,

ඔස්ට්‍රියාව කියන රට අහල ඇතිනෙ, ඔන්න ඔය රටේ තියන ලෝකෙම ප්‍රසිද්ද නගරයක් තියනව. "වියානා" කියන්න අන්න ඒ නගරෙට. මේ රට සෑහෙන පෝසත් රටක්. මෙහේ අන්තර් ජාතික මධ්‍යස්ථාන, එන්.ජී.ඕ අනං මනං සෑහෙන්න තියනව.(පට්ටම ඇකඩමික් ඩයල් කියල හගවගන්න හදන කස්ටිය කොරනව වගේ ලින්ක් එකකුත් දැම්ම).   මෙහේ ඉතින්, සතියක දෙකක ටුවර් එකක් දාන්න තිබ්බ නම් මරේ මරු.
හරි හරි ,, ආපහු කතාවට.
ඔන්න ඔය නගරේ තියනව කෞතුකාගාරයක්, අර අපේ තියෙන්නෙ කොළඹ හතේ, අන්න ඒ වගේ.  කොළඹයි වියානා නගරෙයි සසදනවා කියන්නෙ අවීචියයි තව්සිතාවයි වගේ හිටී. ඉතින් ඔය කියපු  කෞතුකාගාරෙ එක දවසක්  මාරම මාර වැඩක් උනා. අපේ එක වගේම ඒ දවස වල මේකත් රෑට වහනවලු. ආපහු පහුවදා උදෙන්ම අරිනව. ඔන්න එක දවසක් උදේ බලනකොට මේකේ තිබිච්ච එක බඩුවක් නෑලු.
හාහ් හා ,, අපේ එකෙත් උනේ ඔය වගේම දෙයක් නේද. වෙලාවට අපේ දේසපාලුවෝ ඔය කතා දන්නේ නෑ දන්නවා නම් ඕවත් උදාහරණෙට අරගෙන, මෙහේ මොකක්ද උනේ කියල වැඩේ ශේප් කරනව.
ලෝකේ තිබිච්ච හොදම ආරක්ෂණ විධි, තාත්ෂණ තිබ්බත් මොකක් හරි හිලකින් වැඩේ ලිස්සල ගිහින් තිබ්බ. මේක දාසය වැනි සියවසට අයත් රත්තරන් පිළිමයක්.

මුහුදට අදිපති දෙවියා ලස්සන කාන්තාවක් එක්ක කකුල් පටලවාගෙන ඉන්නවා. "සැලීරා" නොහොත් මේ නැති වෙච්ච භාණ්ඩයේ වටිනා කමත් එසේ මෙසේ නෑ. ඇමරිකන් ඩොලර් මිලියන හතලිස් හතක්. සැලීරා වගේම  ඒක හදපු බෙන්විටූ සිලිනි (Benvenuto Cellini ) ගැනත් කතා බොහොමයි.
කොහොමහරි පොලිසිය හොරා පස්සේ පන්නන අතරේ හොරා මේක පෙට්ටියක දාල කැලෑ බද පැත්තක හංගල. කෞතුකාගාර අධ්‍යක්‍ෂකයි ඇමතියවයි මීඩියා පොරවල් පට්ට ගහනවලු.
ඇත්තටම හොරා  කෞතුකාගාරෙ අලුත්වැඩියා කරන්න ආපු පොරක්.  අනික් කාරනාව මූ හොරෙක් උනාට මේක උස්සල තියෙන්නෙ විකුනන්න කියල හිතාන නෙමේලු. දැක්කලු ගත්තලු. අඩේ ලස්සන බඩ්ඩක් කියල යන ගමන් බෑග් එකේ දාගෙන යන්න ගිහින්. අන්තිමට හෝරාවයි සැලීරවයි හොයාගන්න පොලිසියට අව්රුදු තුනක් විතර ගිහින්.


සැලීරා කියන්නෙ මොනාලිසා වගේ සෑහෙන ප්‍රසිද්ධ දෙයක්. එහෙම දේවල් වල ආකෘති ඕනි තරම් තියනව. ඒ වගේ දෙයක් ඔහොම නැතිවෙලා හම්බවෙනකොට ඇත්තටම හොයාගත්තේ පරණ ඔරිජිනල් දේමද කියන එක ප්‍රශ්නයක්. ඒ සදහා පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමයක් තමා XRF කියන්නෙ.
 සරලවම මේ ක්‍රමයෙන් අදාළ බඩුවේ තෝරාගත් තැන් තැන් වල පවතින ලෝහ කොටස්වල සංයුතිය හොයාගන්නව, අදාළ දේට හානියක් නොකර. මුලින් එහෙම හොයාගෙන තිබ්බ නම් ආපහු ගෙනා එක පරික්ෂා කලහම ඔරිජිනල් එකමද කියල තීරණය කරන්න පුළුවන්.
සැලීරාට එහෙම කලාට අපේ නැතිවෙච්ච කඩු, කාසි වලට ඔය දත්ත නෑ. ඒ හන්ද ආපහු හම්බ උනත් ඔරිජිනල් බඩුමද කියල සැකයක් ඇතිවෙනව. විශේෂයෙන් කාසි වගේ දේවල්.
පහුගිය දවසක "සැලීරාව" පරික්ෂා කරපු විද්‍යාඥයා ලංකාවට ආව. ඇවිත් මේ දේවල් ගැන මෙහේ කට්ටියටත් කියා දීලා පොඩි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකකුත් කළා. මෙහේ කට්ටිය ඒ ගොල්ලෝ ගාව තිබිච්ච පරණ කාසි , රන් මසුරන් වගේ දේවල් වල මොනවද තියෙන්නෙ, රත්තරන් එහෙම තියනවද, කොච්චරක් තියනවද කියල හොයාගත්ත.
එක මහත්තයෙක් පරණ කාසි සෙට් එකක් දුන්න. මසුරන්ලු. අඩේ ඇත්ත නේන්නම් සීයට හැත්තෑවයි, අසූවයි රත්තරන් ප්‍රතිශතය.
ඔන්න ඔහොම වැඩේ නැගල යන අතරේ මට එහා පැත්තෙ හිටපු ඩයල් එක.
"මේ බන්, මගෙත් එකක් තියනව බලන්න දෙන්න"
අනිකා :- "මොකක්ද උබේ මාලයක්ද, නැත්නම් මුද්දක්ද"
"නෑ මචන්. අපේ පහේ කාසියත් රත්තන් පාටයිනෙ බන්, රත්තරන්ද දන්නේ නෑ"
මෙන්න මූ ගිහින් පහේ කාසියක් සුද්දට දුන්න රත්තරන් තියනවද බලන්න. ඔන්න අපේ කස්ටිය බලන ඉන්නවා පහේ කාසියේ රත්තරන් කොච්චරද කියල.
හික් හික් හික්,,, ඔය තියෙන්නෙ පහේ කාසියට ආපු රිසාල්ට් එක.
පහේ කාසියෙ තියෙන්නෙ ඉතින් යකඩයි, තඹයි, සින්ක් ටිකකුයි විතරයි. මොනවා කොරන්නද ඒකත් අපේ කරුමෙ.