Thursday, May 23, 2013

රජාගේ මනාපේ,,,,

රජ්ජුරුවෝ රට කරන විට ඇමැති මණ්ඩලේ තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
රජ්ජුරුවෝ රට කරන විට අධිකරණයේ  ලොක්කා තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
රජ්ජුරුවෝ රට කරන විට බැංකුවේ  ලොක්කා තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
රජ්ජුරුවෝ රට කරන විට කනිජ තෙල් සංස්ථාවේ   සභාපති තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
ඔව්වා හැමදාමත් එසේමය.
ඒත් රට්ටු නොදන්නා තවත් තවත් දේ තෝරන්නේත් රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
පාමංකඩ පියනන්ද හිමිට ඇමරිකාවේ සංඝ නායක තනතුර ලැබුනේත් රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය. තවත් නිවැරදි කලොත් රජ්ජුරුවන්ගේ මල්ලීගේ මනාපයට අනුවය. කවදාවත් නොතිබුණ අටමගල් තනතුරු ලැබෙන්නට එක්කෝ පින් කර තිබිය යුතුය. නැත්නම් ජනතාව පව් කර තිබිය යුතුය. අපේ හාමුදුරුවන්ට දැන් තවත් චාන්ස් එකක් ඇත. තවම උගන්ඩාවේ සංඝ-නායක කමට කෙනෙක් පත්වී නැත. රජ්ජුරුවන්ගේ පවුලේ කෙනෙක් දන්නවා නම් වැඩේ ගොඩය.
ඔවැනි තවත් නායක කමක් නම් විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරයි. රට්ටු හිතන්නේ ඔව්වා පත්කරන්නේ විශ්වවිද්‍යාලයෙන්ම බවයි. එක අතකට රට්ටුන්ට ඔව්වා වැඩක් නැත. එක අතකට ඕනිම කුනුගොඩකත් වැදගත්කමක් ඇත.
කොළඹ වාසිටියේ හිටපු වී.සී  (උපකුලපති=Vice Chancellor = වී.සී  ) ශානිකා හිරිබුරේගම නෝනායි. ඉදිරිපත් වූ නම් අතරින් අඩුම සුදුසුකම් තිබුනේත් ඇයටයි. නමුත් රජ්ජුරුවන් දැන හැදින ගැනීමේ සුදුසුකම් තිබුනේත් ඇයටයි. මහාආචාරියාලාගේ පවර්ස් රජුට වලංගු නැත. මනාපය ලැබුනේ  හිරිබුරේගම නෝනාටයි. තනතුර ගන්නට අනෙක් මහාආචාරියාලා කොච්චර තැටමුවත් අන්තිමට කොළඹ ලොක්කී ඇයම විය.
ඇය දැන් උපකුලපති පදවියේ නැත. ඊටත් එහා ගිය පදවියක් ඇයට ඇත. ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහ පුටුවයි. සරලව ලංකාවේම  විශ්ව විද්‍යාල සියල්ලේම ලොක්කායි ලොක්කීයි. ඉස්ටෝරිය ඉවර නැත. ඇයගේ සැමියාත් කොළඹ වාසිටියේම ආචාරියා වරයෙකි. අව්ලක් නැත. ඒත් දැන් සීන් කෝන් එක යන්නේ මෙසේය. නෝනා ගේ පුරප්පාඩු වූ කොළඹ වාසිටියේ උපකුලපතිකමට සැමියා පත් කරන්නට යයි. කව්රුත් නොදන්නවා වුවාට වැඩේ ෂුවර්ය.
(රජයේ රහස් දැන් කෝච්චියේ, බස් රථයේ,  අතන මෙතන කියන්ට ඕනෑ නැත. බ්ලොග් පිටුවේ දැමිය හැක.)
අඩුම සුදුසුකම් වලින් නෝනාට හා මහත්තයාට  උපකුලපතිකම ලැබුන ලෝකයේ එකම වාසිටිය කොළඹයි. පේරේට නැති වාර්තා කොළඹට ඇත. ලෝකෙටම නැති වාර්තා කොළඹට ඇත. කොළඹ උන් ආඩම්බර විය යුතුය.
එනම් තවමත් කොළඹට කිරිය. පේරේට කැකිරිය.



Saturday, May 18, 2013

හතරකට පසුව උතුරු සටහන්,,,

සුනාමියක් ආවේ නැතිනම් අපේ අති බහුතරයක් "සුනාමි" කියන්නේ හෝටලයක නමක් පමණක් ලෙස හෝ කිසි දෙයක් නොදැන ඉන්නට බොහෝ සේ ඉඩ තිබුණි.
එසේම,
ප්‍රභාකරන් නොවන්නට නන්දිකඩාල් නමින් කළපුවක් තියනවායැයි රට්ටු නොදැනගන්නටත් ඉඩ තිබුණි.
නන්දිකඩාල් දැන් තත්වය (Feb, 2013)

මීට පහළොස් වසරකට පමණ පෙර මියැදුන මාගේ මාමා කෙනෙක් සිටියහ. ඔහු දෙවන ලෝක යුද්දයට එකල ලංකාවෙන් සහභාගීවූ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි. ජීවත්ත සිටියදී ඔහු අපිට කිවේ, "මල්ලී මේ යුද්ධ කියන ජාතිය මේ කරන විදියට කරන්න බෑ". "යුද්ධ කරනවා නම් ගහගෙන යන්න ඕනි. ඉස්සරහට එන ගෑනිද, බල්ලද, මොකාද  කිය කියා ඉදල යුද්ද කරන්න පුළුවන්ද". ඔහුට අනුව ජපානයට ලිට්ල් බෝයි දමා නිහඬ කිරීම අතිශය සාධාරණ දෙයකි. "ජපනාට එක වෙඩිලක් හරි තියන තැනක් දැනුනොත් අහස්යාත්‍රා තුන්හාරසීයක් ඇවිත් පැත්තම අළු කරනව. උන් මොකෝ ළමයි, ගෑණු, වයසක මිනිස්සු තෝරනවද." එදා ඔවුන් සහභාගී වූ යුද්දයට අනුව ඊළාම් යුද්දය සත්‍යයෙන්ම ළාමක දෙයකි. සුළු පරිමාණ සටනකි. එවැනි ළාමක දෙයක් ඉවර කරන්නට බැරිවීම ගැන ඔහු මියයන තෙක්ම සිටියේ බොහෝ දුකිනි.
යුද්ධය හරි හැටි කෙරුනේ චන්ද්‍රිකාගේ මුල් කාලයේත් (රිවිරැස) ඉන්පසුව මහින්දගේ කාලයේත් බව මගේ පිළිගැනීමයි. චන්ද්‍රිකා එන්නට පෙර ඊළාම් නිජබිම යාපනය මිස කිලිනොච්චිය නොවේ. අවසානයේ අලිමංකඩ පැරදුනත් යාපනය හමුදාව අතේ තිබීම කොටින්ට එදා තිබූ ප්‍රධාන බිදවැටීමක්.

අලිමංකඩ කියූ සැනින් ඔබට මතකයට නැගෙන පුද්ගලයෙක් සිටී.
ඔව්, ඒ හසලක වීරයායි.

හසළක වීරයාගේ සටහන, අලිමංකඩ  (Feb, 2013)

හසළක වීරයා දිවි දුන් බුල්ඩෝසරය (Feb, 2013)

දකුණේ අපිට භීෂණය දැනුණේ අසූනවය කාලයේදීයි. කෝච්චියේ බෝම්බත්, පිටකොටුවේ බෝම්බත් පිපිරී සිය ගණන් මියගියා සත්‍යයි. නමුත් අපේ මාමා කියූ පරිදි ඇත්ත විදියට යුද්ධය කල අවසාන වකවානුවේ ඊට කොටු උන උතුරැකරයේ ජනතාවගේ තත්වය කොතරම් පීඩිත වන්නට ඇතිද. එයින් දාහෙන් එකක්වත් දකුණේ බහුතරයට නොදැනෙන්නට අපි වාසනවන්ත වීමු.  උපන්දා සිටන් එකතුකළ රත්තරන් ටික කෑම වේලකට හුවමාරු කරන්නට අපට අවැසි නොවිණි. ගෙවල් දොරවල් යාන වාහන සියල්ල ගිනිබත් වී වන සතුන් මෙන් මහමග හුස්ම පොද යැව්නේත් නැත.

මුලතිව් මාර්ගයේ පසෙක විනාශ කල වාහන කොටස් (Fed, 2013)

එකල අනුරාධපුර කනත්තට දිනපතාම වාගේ ගෙන ආවේ හමුදා සාමාජිකයින්ගේ සිරුරුද, කොටි ද නැති නම් සිවිල් වැසියන්ගේ ඒවාද කියන්නට මා දන්නේ නැත.  බොහෝ දුරට ඔය තුන් කාණ්ඩයේම ඒවා තිබෙන්නට ඇති.

ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට මෙසේ ජීවිත වලින් වන්දි ගෙවීමේ තැන ආරම්භය කොතැනද,
දෙමළ ජාතිවාදය ආරම්භ කල චෙල්වනායගම්ලාද........?
ප්‍රභාකරන්ද........?
හැත්තෑ ගණන් වල සිට යාපනයේ තරුණයන් මර්ධනය කර, අසූවේ දකුණෙන් ගොස් යාපනයට ගසා පුස්තකාලයත් ගිනිබත් කිරීමද........?
අසූ තුනේ කළු ජූලියෙන් රටේ අහිංසක දමිළ ජනතාව මරා දැමීමද........?
මේවා අතීතයට අයත්. ඒ කුණු අතීතය එකිනෙකාට හුදෙක්  වැරදි පටවන්නට ඇවිස්සවිය යුතු දෙයක් නොවේ. නමුත් අප අතීතය අමතක කල යුතුද නොවේ.

දැන් කියන්නට තිබෙන්නේ උතුරේ වර්ථමාන සංචාර කතාවයි.
අද වන විට අවම සෝදිසි කිරීම් සහිතව උතුරට ගමන් කිරීමේ පහසුකම් ඇත. කන්කසන්තුරේ පොයින්ට් පේදුරු දක්වා යාහැක.
කන්කසන්තුරේ නවාතැන් පහසුකම් සපයාගැනීමට "තල් සෙවණ" ඉතා සුදුසුයි.
දඹකොළපටුන, නාවකන්නි ළිඳ මෙන්ම නාග දීපයටත් අපහසුවකින් තොරව ලගා විය හැකියි.
නල්ලූර් කෝවිලත් හැමෝම රස විදින අයිස්‌ක්‍රීම් මග නොහැරිය යුතුයි.
යාපනය මාකැට්ටුවේ පස්ගෝ රස නෙල්ලි ඕනෑ තරම්. හොද තල් හකුරුත් සොයා ගත හැකියි.
ලෙයින් තෙත් උනත් අලිමංකඩ සුන්දර තැනක්.
ඔබගේ ගමන අවශ්‍යනම් මුලතිව් දක්වා දීර්ඝ කල හැකියි.
ෆාරා නැවත්, නටබුන් වූ ගොඩනැගිලිත් ශාපලත් අඩවියේ ස්මාරක තවමත් ඇත.
එමෙන්ම නන්දිකඩාල් කලපුවේ සිසිලසට මුවාවූ මොකක්දෝ අමුත්තක් ඔබේ සිත බියපත් කරාවි.

වැඩිපුර පින්තූර දමා පෝස්ටුව ලොකු කරන්නට අදහසක් නැත. උතුර දැනෙන්නට නම් එහිම යායුතුය. එසේනම් අද ලිපිය මෙසේ නවත්වන්නම්.

උතුරුකරයේ මුලතිව් පැත්තේ සංචාරයක් ගියාට කම් නැත. පෙර පරිදි වැඩි කරදර නැත. නමුත් එක් අවවාදයකි.
අවවාදය කුමක් විය හැකිද???????? පුරුෂයන්ට විශේෂිතයි. අනුමාන කල හැකිද??????


¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯

පම්ප් ඇල්ලීමට පාරෙන් පිට නොපනින්න. හැමතැනම බෝඩ් නැත. එහෙත් බට්ටන් සිටිය හැක.

බිම් බෝම්බ ඉවත් කරන නිලධාරීන් පිරිසක්- අලිමංකඩ (Feb, 2013)