Wednesday, May 9, 2012

තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි

පහුගිය ටිකේ, ඒ කිව්වෙ වෙසක් එකට ඉස්සෙල්ල ටිකේ හැම තැනම අවරුදු උත්සව තිබ්බ මතකනෙ. සයිබර් අවකාශේ එකකුත් තිබ්බට එන්නේ කොහොමද. ගෙවල්ගාව එකත් ගානට වැටිලා තිබ්බේ එදාට. තව ඉතින් පොඩි සංවිධාන පට්ටමකුත් තිබ්බ. නොගිහින් කොහොමටත් බෑ.

ඔන්න එහෙනම් කතාවට බැස්ස.
එදා අපේ  ගම් පළාත් පැත්තේ අව්රුදු උත්සව බර ගානක් තිබ්බ. අවිස්සාවේල්ලෙ ඉදන් රත්නපුර පැත්තට පිලිවෙලින් කියනවා නම් 1) අවිස්සාවේල්ල පොලිසියේ අව්රුදු උත්සවයයි, 2) මාදොල තව එකකුයි. 3) දෙහිගහපිටිය සමන් විද්‍යාලේ තවත් එකකුයි.
ඔය තුනෙන් මාදොල එකයි, දෙහිගහපිටිය  එකයි වැඩි දුරක් නෑ. ඔය උත්සව දෙකම පටන් ගන්න කලින් හාමුදුරුවො ඇවිත් පන්සිල් දුන්න. ලස්සන කියන්නෙ දෙහිගහපිටිය එකේ "දුතියම්පි බුද්ධං සරනං" කියනකොට මාදොල එකේ "බුද්ධං සරනං" කියනවා ඇහෙනව. වැඩිම උනොත් මීටර හාර පන්සීයක් ඇති. බයිසිකලයක් තිබ්බ නම් හැම එකටම යන්න තිබ්බ.

ඔන්න දැන් උත්සව පටන්ගෙන ඔක්කොගෙම වැඩ කෙරීගෙන යනව. කොට්ට පොර , අලියට ඇහැ, බනිස් කෑම, කඹ ඇදීම, ගෝනි රේස්, කනා මුට්ටි....ඔය අතරේ තවත් වැදගත් තරගයක් තිබ්බ. ඒ තමා අමාරුම එක. "මැරතන් තරගය".
මැරත්න එකක් කරන එක ලේසිම නෑ. දුවන කට්ටිය හරි පාරේ යනවද කියල බලන්න කට්ටියක් යොදවන්න ඕනි. මොකද ගමේ ගොඩේ ඕනි තරම් ෂෝට් කට් තියනව. සමහරු බයිසිකල්වල ත්‍රීවිලර් වලත් යනව. ඔව්ව අල්ලනත් චෙකර්ස්ල දාන්න වෙනව. පළවෙනිය එන්න ලං වෙනකොට පණිවිඩය ලැබෙන්නත් ඕනි. පළවෙනියට නුලක් ඇදල ඒක කඩාගෙන යන්න දෙන හන්ද. දැන් නම් මොබයිල් ෆෝන් වලට පිං සිද්දවෙන්න  ඒ වැඩේ ලේසියි.
මටත් ඔය තරගේ සංවිධායක පට්ටම ලැබුන. මොන පට්ටම් තිබ්බත් උපන් කම්මැලිකම යවන්න බැරි හන්ද, වැඩ ටික කට්ටියට බෙදල දීල කූල් එකේ මම හිටිය. කොහොමටත් නැගෙන පරම්පරාවට වැඩ පුරුදු කරන්න ඕනි.  කට්ටිය ගජ රාමෙට වැඩ.
අපේ මැරතන් එකත් පටන් ගත්ත. නරකම නෑ, විසි පහක් හිටිය කාන්ඩේ. දෙතුන් දෙනෙක් බයිසිකල් වලින් ගිහින් සපෝට් කරන්නත් ඉදිරිපත් උනා.  ඔන්න දැන් ඉතින් වැඩ ටික යනව.
දුවන කට්ටියට දුවන්න කියල අනිත් තරග ටික දිගටම කෙරීගෙන ගියා. බිත්තර අල්ලන වැඩේට බිත්තර ටික හදල දුන්නෙත් මම. බිත්තර හැදුවා කීවේ බිත්තර දැම්මා කියන එක නෙමේ. අල්ලන්න ගන්න බිත්තර සතියක් මඩේ ගහල තියන්න ඕනි. එතකොට තමා ගානට පදම් වෙලා එන්නෙ. පිපිරුණාම සුවද ගහන්න හදල තියන්න එපැයි.
තප්පරෙන් තප්පරේ ගිහින් පැයක් හමාරක් නොදැනිම ගෙවිල ගියා. ඔන්න අපේ එක්කෙනෙක් ඇවිත් මට කියනව මැරතන් එකේ කට්ටිය ලග ලගම එනව කියල. එතකොට කරන්න ඕනි වැඩ ඔක්කොම සුදානම් කරලා තිබුනෙ. මම ඉතින් ඈතට වෙලා තවත් යාලුවෙක් එක්ක පොඩි කතාවක් දාගෙන බලන් හිටිය.
නිවේදක මල්ලිගෙත් වෙඩි වගේ හඬ. " අංක අට ක්‍රීඩක ඉසංක මල්ලවාරච්චි, මැරතන් තරගයේ පෙරමුණින් පැමිනෙන බවයි දැන් වාර්තා වෙන්නේ. තව ස්වල්ප මොහොතකින් තරගකරුවන් පැමිණෙනවා ඇත."
හනි හනිකට කට්ටිය නූලක් ඇද්ද. පාර දෙපැත්තේ කට්ටිය අප්පුඩි ගහන්න බලන ඉන්නව. ඔය අතරේ  අන්තිම මොහොතේ හරි  වතුර ගහන්න නංගිල ටිකක් ලෑස්ති වෙනවත් පේනව. මා ගාව තිබ්බ ග්ලූකෝස් පැකට් ටිකත් එතනට යැව්ව එන එන කට්ටියට දෙන්න කියල.
ඔන්න දැන් පළවෙනිය ප්‍රධාන පාර දිගේ එනව. නිවේදක මල්ලිත් උපරිමයි. කට්ටියගේ චියර්ස් එකත් උපරිමේනුත් උපරිමයි. ඒ විතරද දුවන එකත් එනව නිකන් මීටර් සීය අදිනව වගේ.  ප්‍රධාන පාරෙන් හැරෙන්න ඕනි තැනට ලං උනා. පොරක් වතුර එකකුත් ඔලුවටම වක් කළා. නූල ඇදගෙන ඉන්න කට්ටියත් ප්‍රථමාධාරය දෙන කට්ටියත් ෆුල් සූදානම්.
ඒත් දුවගෙන ආපු පළවෙනියා මහ පාරෙන් උත්සව භුමියට හැරුනේ නෑ. පොර දිගටම රත්නපුර පැත්තට වෙඩි වගේ දුවනව.
නූල අල්ලපු කට්ටියට පොළව පලන් යන්න වගේ. එනවුන්සර් මල්ලිගෙ කටත් බ්ලොක් වෙලා. මෙන්න එහෙං මෙහෙන් එනව... " හූ... හූ හූ..හූ....හූහූහූහූහූහූහූහූහූ". හූව දිගටම නැගල ගියා.
මොනව කරන්නද රෙදි ඇදගෙන ඉන්නද,, විළි ලැජ්ජයි කුජීතයි. නෝන්ඩිය මගේ පිටට එන්න ඉස්සර බයිසිකල් කට්ටකුත් හොයාගෙන එතනින් ශේප් වෙලා මහ පාරට බැස්ස. මගේ ඔලුවට ප්‍රශ්ණ දාහක් එනව. "අරූ, වෙන අව්රුදු උත්සවේක එකෙක්ද?". "එහෙනම් මොකේ හාල්පාරුවෙක්ද?". නැත්නම් "අපේම එකෙක් තවත් දුරට ගිහින් එන්න ඕනි කියල හිතුනද?"- ගියපාර දුර වැඩියි කියල මේ වතාවේ අඩුකලා කියල පොර දන්නේ නැතුවවත්ද???"
ඕනි මගුලක් කියල මමත් පෑගුව දුවගෙන යන පළවෙනිය ළගට. මම පොර ළගට කිට්ටු වෙනකොට මිනිහා අනිත් අව්රුදු උත්සවේට ලං වෙලා. මෙන්න එතනත් දෙනවා රම්පෙට පොරි දෙවනත් වෙන්න නිවේදනය. "හාපෝ මූ මේකේ එකෙක්නෙ. කමක් නෑ ඔන්න ඔහේ මමත් මූ පස්සෙන් ගිහින් ඉවර කලාම එනව" කියල මමත් දිගටම පෑගුවා.
එතන පොරවලුත් නූලක් හෙම ඇදගෙන ලැස්ති වෙලා ඉන්නව. පාර දෙපැත්තට වෙලා අප්පුඩි ගහන සෙට් එකකකුත් ඉන්නව. "හා,, තව පොඩ්ඩයි,, තව පොඩ්ඩයි" පොරවල් මුගේ මොරාල් එක නග්ගනවා. 
ලස්සන වැඩේ කියන්නෙ මූ එතනින් හැරුනෙත් නෑ. විළි ලැජ්ජයි කියන්නෙ මම ඇදුමක් ඇදගනද ඉන්නේ කියල මටත් සුවර් නෑ වගේ. එතන මැරතන් ඕගනයිසර්ගෙ මුණත් මට හිතාගන්න පුළුවන්.

හාපෝ,,, මට නම් තවත් ඉවසන්න බැරි හින්ද, "මල්ලි මොකද ඔයා අතනින් හැරුනේ නැත්තේ" කියල දුවන එකාගෙන්ම ඇහුව. 
"තමුසෙලාට පිස්සුද ඕයි. මම පොලිසියේ".
මේකා අවිස්සාවේල්ල පොලිසියේ අව්රුදු උත්සවේ එකෙක්. හැම තැනම උන් ගහල තියෙන්නෙ එකේ ඉදන් අංක පිළිවෙලට. අපේ උන් වෙන මොකවත් අදුරගන්න දාලත් නෑ. තුන් ගොල්ලොම  මික්ස් උනාම හොයන්න අංජනම් අරින්න වෙනව. අනිච්චා වත සංකාරාලු
එදා හවස ගෙදරින් මාරු උනාට පස්සේ වෙසක් එකටවත් ගමේ ගියේ නෑ.

 



20 comments:

  1. මරු සංවිධායක මහත්වරු..ඔය තියෙන්නේ රම්පෙට පොරි පොකුරු පොකුරු...කමක් නෑ ඔහොම ආතල් එකකුත් තියෙන්ඩ එපායෑ...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්,, හැබැයි තාමත් ටිකක් නොන්ඩි වගේ..

      Delete
  2. Replies
    1. "කිච" කියන්නේ ගෙදර ගියාම මල්ලිගෙනුත් කිච වෙනවා.

      Delete
  3. අය්යෝ මගේ පළවෙනි කොමෙන්ට් එක දාන්න වෙන්නෙ " කුජීතයි " කියල තමයි

    ReplyDelete
    Replies
    1. කිසිම අමනාපයක් නෑ යාළුවා. ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

      Delete
  4. අවුරුදු උත්සවේ ඉවර වෙලා පොලෝසිය පැත්තෙ ඇවිත් යන්න කිව්වෙ නැතුව ඇති... හි හි...

    ReplyDelete
  5. ඇත්තටම වෙච්ච දෙයක්ද ඕක ? මට නම් හිත ගන්න අමාරුයි

    ReplyDelete
  6. තරහ නැතුව ට්කක් විපරම් කරලා බලපං මචන් අරූ තවම දුවනවද කියලා.




    ප/ලි මචෝ උබ ඔය කියලා තියෙන්නේ අපේ වැයික්කිය ගැනනේ.උබ කොයි ඉසව්වෙද.? ජය..!

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද ,,, සරත් ලොක්කත් අවිස්සාවේල්ල පැත්තෙද,,,

      Delete
  7. හික්ස්...නියම වැඩේ හූඌඌඌඋ....

    ReplyDelete
    Replies
    1. නියම තමා වින්චැට්කිරිල්ලිට උනා නම් මමත් උඩ පැන පැන හිනා වෙනව.

      Delete
  8. මටත් අවිස්සාවේල්ල නුහුරු තැනක් නෙවේ. 1976 දී මම අවිස්සාවේල්ලේ සම්පත විද්‍යා පීඨයේ ගුරුවරයකුව හිටියා. ඒ කාලේ එතන ආර්ථික වියාව උගන්නන්න අවා බන්දුල ගුණවර්ධන කියලා කෙනෙක්. අපි ඒ කාලේ බොහෝ . . . . . . . . . .ම ලඟින් ආශ්‍රය කළා. දැන් එයා ලොකු ඇමති කෙනෙක්ලු. අපිව මතක නැතුව ඇති. කොටියාකුඹුර, අඟුරුවැල්ල, රුවන්වැල්ල, දෙහිඕවිට, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර දක්වා මම 1971 සිට 2000 විතර වෙනතුරු කරක් ගැහුවා.
    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එතුමාට අමතක වෙන්න විදියක් නෑ. මොකද තාම ඒ කාලේ නෝට්ස් තමා පාඩම් කරගෙන ඉන්නෙ. එකනේ ඔය 2500යෙ කතාවක් කීවේ ඒකාලේ මිල ගණන් දාල.
      ඔබතුමාත් එහෙනම් අපේ ගම්-පලාත් දන්නව.

      Delete
  9. මම ඔය පාරෙ යනවා නිවාඩුවට ලංකාවට ආවාම හංවැල්ලෙ ඉඳලා අවිස්සාවේල්ල රත්නපුර බලංගොඩ ඊට පස්සෙ දිගටම...කිතුලගලත් හම්බවෙනවනෙ නේද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කිතුල්ගල නම් හම්බු වෙන්නේ නෑ. කිතුල්ගල යන්න ඕනි නම් අවිස්සාවේල්ලේ ඉදන් (කොළඹ සිට එන විට වමට) කෑගල්ලට යන පැත්තට ගිහින් යන්න ඕනි. රත්නපුර පාර නම් දන්නවා වගේ.
      බලංගොඩ ඊට පස්සෙ දිගටම.... කියල කිවුවේ බෙලිහුල්ඔය, කළුපහන, හපුතලේ දිගටම යනවා වගේ.....

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,