Thursday, January 26, 2012

කට නොහැර සිටිම්ද?

වැඩි කතා ඕනි නැත. ලියන්නට කාරණා හිගයක්ද නැත. නමුත් නමුත්... කෙටියෙන් හෝ බැළුම් ගලේ අඩව්වක් බ්ලොග් එකකටත් දැම්මාට කිසිදු අඩුවක් නොමැත. එය බ්ලොග් කියවන්නන්ටත් බැලුම්ගල වැඩසටහන මෙහෙයවන්නන්ටත් දෙපිරිසටම වෙන සේවයකි.
බැළුම් ගලේ නොකියපු නමුත් කොලබ වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඉන්න  ඩීන් මහා ඇදුරු ඇතුළු අදාළ සෙට් එක දන්න, මරුවින්ගේ වැඩක් මමත් කියන්නම්. මුලින්ම බැළුම් ගලේ මරුවින් ගැන කතාව අහන්න....
මෙතන ලින්ක් එක

මෙන්න මේකයි කොලබ  වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඩීන් මහා ඇදුරුත් දැන දැනම කොරපු, නමුත් ඔප්පු කරන්න බැරි, ඔප්පු කලත් වැරැද්ද UGC එකට යන වැඩේ.
මරුවින්ගේ පුත්තර රත්නයකට (පියා මරුවින්ද? නැත්නම් වෙන එකෙක් දැයි නොදනිමු) කොලබට ඇතුළු වෙන්නට ලකුණු (z-අගය) මදිව තිබෙත්දිත් දැන දැනම කොලේ වහල වෙන එවුන් කපල සයන්ස් ෆැකල්ටියට ගත්ත. මේක උනේ 2008 නැත්නම් 2009.
කෙමෙස්ට්‍ට්‍රි හෙඩ් (ගෝඪාට බයේ වී. වි වැඩවර්ජනයට ආපු නැති), ෆැකල්ටි ඩීන් ඇතුළු වෙනකක් තබා වී.සී ත් (ඉදිරිපත් වූ නම් අතරින් පරිසාධන මට්ටම අඩුවෙන්ම පැවති මහා ආචාරිය ශානිකා හිරිබුරේගම:- මැයට ජනාධිපති විසින් අනෙත් වැඩි සුදුසුකම් පිරිස පැත්තක තබා V.C පට්ටම ලබා දෙන ලදී.) ඇතුළු රටේම නමගිය තැන්වල ලොක්කොත් (කැලණියේ වී.වී. යේ ආසනික් පොරත් ඇතුළුව) මුන්ට බලුවී මුන්ගේම සරණ යන කල, මේ කතා බ්ලොග් එකකින් මිස, කාට කොහොම කියන්නද...

Tuesday, January 24, 2012

නෙත නොගැටුණු දසුන්,,,

දෙදාස් දොළහ පටන් ගත්තත් හරි බ්ලොග් එකට අත තියන්න බැරි උනාට, එහේ මෙහේ රව්ම් ගහන්න නම් පොඩි පහේ වාසනාවක් ලැබුන. දුන්හිද, දියළුම, ඩෙවෝන්, සෙන්ට් ක්ලෙයාර්, ලෝකාන්තය සිරිපාදේ ඔන්න ඔකොම තැන් කීපයක්. මේ තැන් බොහොම සුන්දර උනත් ගොඩක් දෙනා අහල තියන දැකල තියන බොහොම ප්‍රසිද්ධ ස්ථාන. ඒ හින්ද කට්ටිය වැඩිය නොදකින නමුත් දවසකින් දෙකකින් ගිහින් එන්න පුළුවන් තැනක පුංචි විස්තරයක් අද පොස්ට් එකෙන්.

1)පළවෙනි තැන
මේක තමයි බඹරකන්ද දිය ඇල්ල, අඩි 790ක් උසයි. ලංකාවේ උසම ඇල්ල වගේම ලෝකෙම 48 වෙනියට උසම ඇල්ල. මෙතන පාමුල ඇල්ල ලගටම ගිහින් නාන්න පුළුවන්. පිටරට සංචාරක යුවලකගෙත් ලස්සන දසුනක් කැමරාවේ සටහන් කරගන්න පුළුවන් උනා.


 2)දෙවැනි තැන
මේ මුලින් තිබ්බ බඹර ඇල්ලේ උඩ කොටස. මේ කොටස බලන්න නම් ඇල්ල උඩට නගින්න ඕනි, ෆයිනස් කැලේ ඇතුලින්. මෙතනත් පොඩ්ඩක්වත් ගැඹුරු නෑ. 
ලොකු ඇල්ල පටන්ගන්නෙත් මෙතනින්. ඒ වගේම ලොකු ඇල්ල පටන් ගන්න තැනටම ගිහින් ඔලුව දාල බලන්නත් පුළුවන්. පරිස්සමින් , හොද සිහියෙන්, පොඩ්ඩක් එහේ මෙහේ උනොත් අඩි හත්සීයක් පල්ලෙහා.
ඔතෙන්ට නගින අතරමග පල්ලෙහා බලන්න ගල් කුලකට යන්නත් පුළුවන්. එතනත් ටිකක් පරිස්සමින් යන්න ඕනි තැනක්.

3) තුන්වෙනි තැන

මෙන්න ලංකාවේ ලස්සනම දිය ඇල්ලක්. නම "ලංකා ඇල්ල". වැඩිය උසනම් නෑ, නමුත් ෆොටෝ එකකට ගන්න බැරි තරම් ලස්සනයි. මේ ඇල්ල වැටෙන්නේ තනි කළු ගලක් ඇතුලෙ ලංකාව වගේ හැඩේට. පුදුම ලස්සනක්, හිතට සැහැල්ලුවක් ලැබෙන දිය ඇල්ලක්. දෙවියනේ කියල මේක නම් තාමත් ප්ලාස්ටික් ටොෆි කොළ අනං මනං වලින් අපිරිසිදු වෙලා නෑ. මොකද වැඩිදෙනෙක් යන්නේ නැති හින්ද. ඇල්ලට යන්නෙ බඹර කන්ද ඇල්ල පාමුලින් වම් පැත්තට කිලෝමීටරයකට අඩු දුරකින්. ඇත්තටම ගිහින් බලන්න වටිනා තැනක්.
ඇල්ල වැටෙන තැන නම් නාන්න යන්න එපා ඊට වඩා හොදයි එල්ලිලා මැරෙන එක. මොකෝ බොඩියවත් කරදරයක් නැතුව ගන්න පුළුවන්නේ. නාන්නම ඕනි නම් ඇල්ල උඩ පූල් එක වගේ තැනක් තියනව ගැඹුර නැති.

4) හතර

මේ ඇල්ල බලන්න යන කට්ටිය අල්පයි. ඒ ටික දෙනාගෙනුත් ඇල්ල ලගට යනව ඇත්තේ දාහකට එකක් විතර. මොකද පාර දුෂ්කර නිසා. මේකට කියන්නෙ උඩුවර ඇල්ල කියල.ඇල්ල පේන හරියට යන්න බඹර කන්ද ඇල්ලේ ඉදන් කිලෝමීටර  දෙකක් විතර කන්දක් නැගල යන්න වෙනව. පාමුලට යන්න නම් එතන ඉදන් තවත් කිලෝමීටර් 5ක් විතර අති දුෂ්කර ගමනක් තියනව. මේ ඇල්ලත් ඊලග එකත් දෙකම තියෙන්නෙ එක ලග. දෙකම එකට පේනවා

5) ඇලි සෙට් එකේ අන්තිමය

කිව්ව වගේ මේ ඇල්ල තියෙන්නෙ උඩුවර ඇල්ල ලගමයි. දෙකම හැදෙන්නෙ එකම වතුර පාරෙන්. වැරදිලා හරි තව මීටර පනහකින් විතර ඇලි දෙක ලං වෙලා තිබ්බ නම් බඹරකන්ද උසට වඩා උස වැඩි වෙනව. මේකට කියන්නෙ "නාගදෝව ඇල්ල" කියල. ඇත්තටම ගත්තොත් මේකට ගිහින් තමයි උඩුවර ඇල්ලට යන්න වෙන්නෙ. මේක පහල පොඩි කෝවිලකුත් තියනවලු. (අවාසනාවන්ත හේතුවක් නිසා ඇල්ල පාමුලට යාමේ අවස්ථාව නම් අපිට නැති උනා. නමුත් අතේ දුරට එනකම් යන්න පුළුවන් උනා).

ඔන්න දවසක හරි දෙකක හරි ට්‍රිප් එකක් යන්න නියම තැන. නමුත් කට්ටිය ගොඩක් යන එකක් නම් හරියන්නේ නෑ. අන්තිමට කියපු ඇලි දෙක ලගටම යන්න අදහස් කරනවා නම් ඕනි දුකක් විද දරාගන්න පුළුවන් වෙන්න ඕනි. කූඩැල්ල්ලෝ කවාගෙන, කටු ඇනගෙන, අත පය පතුරු යවාගන්න සූදානමින් ඉන්න වෙනව.
තවත් මදිනම් හෝටන් තැන්නට 15 km විතරයි තියෙන්නෙ. හැබැයි පයින්ම අදින්න වෙනව.
නමුත් බඹර කන්දටත් ලංකා ඇල්ලටත් එකදවසකින් අපහසුවකින් තොරව ගිහින්, බොහෝම රිලැක්ස් එකේ ඉදල එන්න කියාපු තැනක්.
පරිසරය නැති කරන කාළකන්නියෝ නම් නොයන තරමට හොදයි. මොකද මෙතන තවම ජරාවෙලා නැති නිසා.
ඔක්කොම ටික කියල යන පාර හරියට නොකීවොත් අඩුවක්.

කොළඹින්, අවිස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, බලන්ගොඩ, බෙලිහුල්ඔය හරහා කලුපහනට එන්න වෙනව. තවත් සරල කරනවා නම් කොළඹින් බදුල්ල (99 රූට් එක)යන බස් එකකින් කලුපහනෙන් බහින්න පුළුවන්. එතන ඉදන් බඹරකන්ද ඇල්ල ලගට 5km විතරයි. ඕනි නම් 3-වීලරුත් තියනව.
ලංකා ඇල්ලට යනව නම් බඹර කන්ද ඇල්ලට යන පාරේම ගිහින් (පයින් යන ටිකේ) , මුලින්ම හම්බුවෙන ෆයිනස් වගාවකින් උඩට යන්නෙ නැතුව වම් පැත්තට ගිහින් ෆයිනස් කැලේ ඇතුලින් කන්ද උඩට නැගගෙන යනකොට අඩි පාර මුලින්ම බෙදෙන තැනෙන් වම් පැත්තට යන්න ඕනි. එතනින් දකුණට ගියොත් බඹර ඇල්ලේ උඩ කොටසට යන්න පුළුවන්.
නාග දෝව සහ උඩුවර ඇලි බලන්න යනව නම් බමරකන්ද ඇල්ල බලන්න අඩි පාරට එන්නේ නැතුව තවත් මීටර අටසීයක් විතර ලොකු පාර දිගේ කන්ද උඩට නැගල අතුරු පාරක යන්න වෙනව. යන්න වෙන්නෙ "බෝතලේ වත්ත" කියන වත්ත ලගින්. (දමිල කස්ටිය ඉන්න වත්තක්). බෝතලේ වත්තට යන පාර ඇහුවොතින් ඕනි කෙනෙක් කියාවි. බෝතලේ වත්ත පහුකරගෙන තවත් කිලෝමීටරයක් විතර ගියාම ඔන්න දිය ඇලි දෙක පේනවා. ඇලි ලගට යන්න ටිකක් අමාරුයි. අද හෙටම යනව නම් අපි පොඩ්ඩක් සුද්ද කරපු හින්ද පොඩ්ඩක් ලේසි වෙයි. කෝකටත් පාර හොයාගන්නත් එක්ක වත්තෙන් මීට ඉස්සෙල්ල ඔය පාරේ ගියකෙනෙක් අඩගහ ගත්තොත් හොදයි.

ඔන්න එහෙනම් පොඩි පික්නික් එකකටත්, ඇඩ්වෙන්චර් ගමනකටත් ඕනිම එකකට සුදුසු තැනක් අද ලිපියෙන් ඉදිරිපත් කළා.
මේක ලියාගෙන යනකොට මොකක්දෝ එරර් එකක් ඇවිත් ලියපුවයින් බාගයක් මැකිලා ගියා. ආපහු ලියනකොට කරන්ට් එක ගියා. එපා වෙලා ඉන්නකොට තවත් ගමනක් සෙට් උනා. ඒ ගමන ගිහින් එනකොට නෙට් කපල. ඔන්න අද නෙට් එකේ බිල ගෙවල යන්තම් ගොඩ දාගත්ත. අර පස්සෙ ගිය ගමන තමයි හික්කඩුව , උණවටුන පැත්ත. එහෙත් නරකම නෑ. බලන්න ලස්සනයි. ඔන්න යටින්ම එහෙත් පින්තුරයක් දැම්ම.

Friday, December 23, 2011

තෙල් හොයන හැටි,,,,

අපේ රටට මොනවද අඩු. පිරිසිදු වතුර , ගස් වැල්, ගගා දිය ඇලි, මුතු මැණික්, යපස්, පොස්පේටේ, යුරේනියම්, තෝරියම්, ටයිටේනියම්, ඉල්මනයිට්, රූටයිල්, රට වටේටම මූද, ඕනි තරම් අල්ලගන්න මාලු ඒ මේ අස්සෙ ලොකුම තල්මස්සු රෑනකුත් ඉන්නවලු. ඒ විතරද ලේ වලට විතරක් දෙවෙනි වෙන තෙල්,,, දැන් දැන් එළිවෙන විදියට ලංකාව වටේටම තෙලුත් තියනව.
මේ පොස්ට් එක දාන්නේ මුහුද යට තියන තෙල් උඩ ඉදන් හොයාගන්න විදිය සරලව කියන්න.
ඇත්තටම එක ක්‍රමේකට වඩා සාමාන්‍යයෙන් ක්‍රම තුනක සංකලනයක් තමයි යොදා ගන්නෙ. එතකොට අඩු වියදමකින් වැඩි විස්වාස දායකව ස්ථිර කරගන්න පුළුවන්.
මුල්ම වැඩේ පොළවේ ගුරුත්වබලය සොයා බලන එක. අපි හිතන් හිටියට හැම තැනම එක වගේ කියල බොහෝම සියුම්ව බැලුවොත් ගොඩාක් වෙනස්කම් තියනව. මේ තෙල් විශාල ප්‍රමාන වලින් තියන තැන් වලත් ලාක්ෂනිකව ගුරුත්ව බල වෙනස් වෙනව. ඔය ක්‍රමෙන් තමා මුල්ම අදහස ගන්නෙ.
උඩ ක්‍රමේට හොයා ගත්ත ප්‍රදේශ තවදුරටත් පරික්ෂාවට විද්‍යුත් චුම්බක බල වෙනස්කම් උපයෝගී කරගන්නව. සරලව කීවොත් තෙල් තියන තැන්වල මැග්නටික් ෆීල්ඩ් එකත් අනිත් තැන්වලට වඩා අපගමන පෙන්නනව. ඔන්න ඔය වෙනස්කම් වලින් මුලිකවම තෙල් තියෙන්න පුළුවන් තැන් මැප් කර ගන්නව.
අන්තිමට හදුනාගත් තැන්වලට ද්වනි තරංග (අල්ට්‍රා සවුන්ඩ්) යොමු කරල ඒව නැවත පැමිණෙන වේලාවන් ඇසුරු කරගෙන පොළොවේ තියන ද්‍රව්‍ය ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් තෙල් වගේ දෙයක් තිබුනොත් කරදරයක් නැතුව අහුවෙනව. නමුත් ඔය අති ද්වනි යවන වැඩේ ලේසි කියල හිතුවට මේකට ටිකක් වැඩි ප්‍රමාණවලින් යවන්නත් ඕනි, අනික මුදේ වගේ නම් තවත් ටිකක් අමාරු වෙනව. 
අන්තිමට කියපු අල්ට්‍රා සවුන්ඩ් ක්‍රමේ තහඩුවල ගනකම හොයාගන්න මහා පරිමාණයෙන් පාවිච්චි කරනව. ඒකම ටිකක් ඇඩ්වානස්‌ විදියට තමයි යොදාගන්නෙ.
ඔන්න ඔහොම තමා දෙවියනේ කියල මුලිකවම තෙල් තියන තැන් හොයාගන්නෙ. තව තව ක්‍රම ඇති නමුත් මම දන්න විදිය තමා පැහැදිලි කලේ.
මගේ ඔලුවට තෙල් කතාව ඇදිල ආවේ නිකම්ම නෙමේ. ඊයේ ගල්කිස්ස බීච් එකට ගිය වෙලාවේ වෙනද දකිනවට වඩා අමුතු තාලෙ ලයිට් දාල නත්තලට හදාපු වගේ බෝට්ටුවක් තිබුන ටිකක් ඈතින්. "අම්මට සිරි අන්න සිරා බෝට්ටුවක් " කියනකොට රෙස්ටුවරන්ට් එකේ මැනේජර් උන්නැහෙ කියනව "මහත්තයෝ, ඕක අර තෙල් ගැන හොයන්න ආපු නැවනෙ" කියල. 
එහෙනම් හෙට අනිද්දා ලබන නත්තලත්, ඊලගට එන අලුත් අවුරුද්දත් ප්‍රීතිමත් තෙල් මිල අඩු එකක් වෙන්න කියල දූපත් වැසියා ප්‍රාර්ථනා කරන ගමන් ලංකාවෙ මුලින්ම තෙල් හොයපු හැටි, තෙල් සහ ගෑස් නිදිවල තියන රේඩෝන් වගේ වායූන් ගැන රසවත් සහ රහස් කතා ටිකක් ලබන අවුරුද්දෙ ලියන්න හිතේ තියනව කියලත් කියන්න කැමතියි.

Friday, December 16, 2011

ගෙන්දගම් පොළොවටම මනුස්සකම උරාගෙන,,,,,

අපේ ජිවිත හරිම විෂමයි විවිදාකාරයි සමහර වෙලාවට පුදුමයි. මේ අද වෙච්ච දෙයක්. 
දවල් වරුවෙ නුගේගොඩ පැත්තෙ කැරකිලා, පොඩි රස්තියාදුවකුත් ගහල ගෙදර එන්න කියල හෝල්ට් එකට ආව. 
මෙන්න ඉන්නව අන්තිම චා ඩයල් ටිකක්. හිප්පියෝ වගේ. ඔය සෙට් එකේ කෙල්ලො තුන් දෙනෙකුත් හිටිය. හිතා ගන්න පුළුවන්නේ කොමලේ... ඇබරෙනව, කැරකෙනව, ටින්කිරි පෙරනව, මල විකාරයයි. එකෙක් එක කෙල්ලෙක්ගෙ එහෙං අල්ලනවා මෙහෙන් අල්ලනවා,, අරව මේව දහසක්. මෙතන මිනිස්සු කෝටියක්‌ හිටියත් මුන් උන්ගෙ ලෝකෙ. හරියට තමුන්ගෙ ගෙදර තමුන්ගෙ කාමරේ අස්සෙ වගේ.
ඔන්න ඔය ඒ මේ අස්සෙ ඇස් පේන්නැති මනුස්සයකුත් සෙනග අතරින් හැපී හැපී එනව. හැබැයි මිනිහගෙ මුණෙන් පේනව නිකන් පාරක් තොටක් දන්නෑ අසරණ ගතියක්. මමත් මනුස්සයට යන්න කියල පොඩ්ඩක් ඉඩ දුන්න. මුන්ට උදව් කරන්න ගිහින් ඇදගෙන නාන්න උනොත්. මොකෝ මට ඔහොම වෙලා තියනව. නැතත් දැන් කාලේ පොරවල් ෂුවර් නෑ, මගේ හිතත් ටිකක් ගල්.
අන්කල් කොහාටද යන්නෙ,,, පාර හොයා ගන්න පුළුවන්ද?" අර පිස්සු ගැන්සියේ පොරක්.
පුතේ මම නාවලට යන්න බස් එකක් ගන්න යන්නෙ"
(නාවලට යන්න හෝල්ට් එකට යන්න සෑහෙන දුරක් යන්න වෙනව. නුගේගොඩ සුපර් මාකට් එක පැත්තට. මේක උනේ හයිලෙවල් ස්ටෑන්ඩ් එකේ.)
මෙන්න ආපහු අර ගැන්සිය කුටුකුටුව...
"ම්ම්ම්ම්... මචෝ මම එහෙනම් අන්කල්ව දාල එන්නම්"
"ඕකේ,,,, බබා වීල් එකක යන්නකො." එක කෙල්ලෙක් අදහසක්.
ඔන්න අන්තිමට අර ඇස් පේන්නැති මනුස්සයව 3වීල් එකක දාගෙන එක්ක ගියා...
ඇතටම ඔහොම උදව් කරපු සෙට් එක මගේ ලෝකයේ වීරයෝ, වැඩිහිටියන්ට ආදර්ශයක්, මම දහස වාරයක් උබලට ඔලුව නමනව,,,,,,
නමුත් කිසි උදව්වක් නොකර නොදැක්ක වගේ පාරෙන් අයින් වෙච්ච මම......., මම මොකෙක්ද,,,, නරුමයෙක්ද??,,,,,, ගෙන්දගම් පොළොවටම මනුස්සකම උරාගෙන, රොඩ්ඩ විතරක් ඉතුරු වෙලා,,,,,,,

අහන් ඉන්න,,,, අහගෙන ඉන්න,,,,,
 (ඇත්තටම මට මම ගැනම ගොඩක් දුක හිතුන.)

Wednesday, December 14, 2011

වයිට් ද බ්ලැක් ද,,,,

මේ ටිකේ හොදටම වහිනව. වැඩක කරන්නත් කම්මැලි හින්ද පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මගේ ඔළුවට ආව පොඩි පහේ ගැටළුවක්. මිනිස්සුන්ට ගන්න පුළුවන් හොදම සැප මොකක්ද,,,,,
බුදු වදනට අනුව නම් "නිරෝගී කම උතුම්ම සැපතයි". ඔය නිරෝගී කමේ සැපත දැනෙන්න නම් ලෙඩක් හැදෙන්නම ඕනි. තියන සැපත නැති උනාම හොදට තේරෙනව අගේ. 
යම් කෙනෙකුට සුව කරන්න බැරි ලෙඩක් හැදුනොත් මොනව හිතෙයිද,,,, ගොඩක් දුක්බර අවස්ථාවකට මූණ දෙන්න වෙනව. නමුත් ඉස්සර සුවකරන්න බැරිවෙච්ච බොහෝදෙවල් දැන් සුවකරගන්න පුළුවන්.
දැනට අව්රුදු හතර පහකට උඩදි අපේ නැන්ද කෙනෙකුටත් හැදුන ටිකක් අමාරු පැත්තට බර ලෙඩක්. කෙලින්ම කිව්වොත් බ්‍රෙස් කැන්සර් එකක්. 
ම්ම්ම්ම්.... අපේ පවුලෙ කට්ටියත් බෙහෙත් හේත් වගේම බෝධි පූජා, බාර හාර ගොඩක් දේවල් කලා ඔය ප්‍රස්නෙදී. මම ඕව තඹේකට විස්වාස නොකලට උපරිමයෙන්ම හැම දෙකටම උදව් පදව් කලේ මොක නැතත් නැන්දගේ හිත හරි හැදෙන නිසා. 
ඔන්න ඔය අතරෙ කොහොම හරි කට්ටිය එලියන් වයිට්   (ජනාධිපති දොස්තර) ගාවටත් ගිහින් නමුත් මොකක් හරි දේකට මගේ කණට කතාව වැටුනේ නෑ. දැන් ඉතින් බේත් හේත් කරගෙන යනකොට අන්තිමට ඔපරේෂන් කරන්න ඕනි කියන තැනටත් ඇවිත්. ඔන්න එතකොටයි කතාව ඇදිල එන්නෙ. 
මොකද කිව්වොත් එලියන් කියල තියනව ඔපරේෂන් නැතුව වැඩේ ගොඩ දාන්න පුළුවන් කියල. මම එලියන් ලොක්කගෙ වැඩ කිඩ ටිකක් ටිකක් දන්නව. ඉතින් කව්ද පොරගෙන් බේත් ගන්නෙ. 
මම එදා මිනිහගෙ පැටිකිරිය කියන්න කියල ඉක්මනට ආවට මොකුත් කියන්න ඕනි උනේ නෑ. මොකද වාසනාවට ඒ වැඩේට කිසිම කෙනෙක් හා කිව්වේ නෑ. දෙවියනේ කියල ඔපරේෂන් එක කරල නැන්ද තාම කරදරයක් නැතුව ඉන්නව.
ඊයෙ පෙරේදා බැළුම් ගලෙන් පොර ගැන කිව්ව. 
නමුත් එතනින්වත් නොකියපු දෙයක් තිබුන, ඒ තමයි මිනිහ ගංX අබරල බේත් කියල දෙන එක. සමහර විට වැඩසටහන කරපු කට්ටිය ඕක දන්නවා ඇති. නමුත් ඇත්ත උනත් අස්ථානයේ කියන්න හොද නෑ කියල තියනව  පංච තන්ත්‍රය කියන පොතේ.
ම්ම්ම්ම්ම්... රටේ බහුතරය නොදන්න තිත්ත කතාව???? මම මෙහෙම කියන්නම්. කට්ටිය කැමති විදියට හිතා ගන්න. 
කොහොම කියන්නද මන්ද. ඔන්න මම බේරිලා 
--------------------------------------------------------------------------------------------------------------------
(පහල කතාව නිකන්ම හුදු සිහිනයක් පමණි,,,,)
එක රටක(කේතුමතියේ), රටේ (මහා,,, රජ වෙච්ච)ලොක්කෙක්ට මෙයා ගංජා බේත් දුන්නේ නෑ. ඒ ලොක්කත් මෙයාට අහු උනේ නෑ. ඒව ගහල ආතල් එකක් ගන්නෙත් නෑ. ඒ ලොක්කට බේත් නොකල හන්ද වෙන කව්රුත් මෙයා ගැන කචල් අදින්නෙත් නෑ. ඒ ලොක්ක හින්දම මෙයා අපේ ක්‍රිකටර්ස්ලට බේත් කලෙත් නෑ. ඔය මාලින්ගට එහෙම මෙයා බේත් දෙන කතාව රූපවාහිනියේ එහෙම ගියෙත් නෑ
එතකොට ඒ ලොක්ක කව්ද??_______???
ඒ ලොක්ක ෆුල් මතට තිත, වෙන විදියකට කීවොත් හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන ගිහින් මාට්ටු වෙලත් නෑ
(හිල්ටොන් ජයික් කතාව පහු කාලීනව කියන්නම්)

තව පොඩි අතුරු කතාවකුත් තියනව.
මේ වෙදනාව මීට ටික කලකට ඉහතදී බත්තරමුල්ල ආර්පිකෝ එකේදී නෝනත් එක්ක මට හම්බු උනෙත් නෑ. කතා කලෙත් නෑ.
----------------------------------------------------------------------------------------------------------------------
ඔන්න පල්ලෙහා තියනව බැළුම් ගලේ ලින්ක් දෙක..

මෙන්න මෙතන තියනව පාර්ලිමේන්තුවේ මේ ගැන කතාව...

ඇත්තටම ලංකාව ගැන දුකයි නේද,,, කොහොම හරි යන්තම් යුද්දේ ඉවර කර ගත්ත එක ලොකූ දෙයක් කියලයි මම හිතන්නෙ, ඒ හින්ද තවම මගේ තරාදියේ ඒ පැත්ත ගොඩක් බරයි,,,,,,, 
මේ පොස්ට් එකට වැඩිපුර ගල් මුල් ඒවි. කොහොම නමුත් ඇත්ත සගවන්න බෑ කියනවනෙ, කවදා හරි හරි සාධකත් එක්ක කතා ටික ලෙහිලා ඒවි...

Monday, December 12, 2011

අපේ කොල්ලෝ with ඉන්ටර්නැෂනල් කෙල්ලෝ,,,,

90 ගණන්වල මැද හරියෙ t.v එකේ ගියා වැඩසටහනක් "වසර දෙදාහෙන් එහා ලෝකය" කියල,,, බලල තියනව ඇති,,,,  ඔන්න ඕකෙ මට මතකයි තියනව ටෙලිෆෝන් කෝල්, වීඩියෝ එකත් එක්කම අනාගතේදී ගන්න පුළුවන් වේවි කියල එක කෑල්ලක. 
හ්ම්ම්ම්ම්,,,මොක නැතත් නොහිතපු විදියට තාක්‍ෂණය නම් දිවුනු  වෙලා. කොළඹ ඇරුනහම ගමට කම්පියුටර් උගන්නන්න තිබ්බෙ ටෙක් ශ්‍රී ලංකා එක. රූපවාහිනී නිවුස් යන වෙලාවේ දාහක් ඇඩ් දාපු ආයතනයක් දැන් වැරදිලාවත් ඇහෙන්නේ නෑ. 1.4 ෆ්ලොපියක් කියන්නෙ ලේටස්ම ටෙක්නොලොජි එක,,,,
ඔන්න ඔහොම ගිහින් දෙදාහ වසර වෙනකොට ලංකාවේ නෙට් කියන එක ගෙවල් වලටත් එන්න පටන්ගෙන. ගූගල් එච්චර ජනප්‍රිය නෑ. නමුත් යාහු නම් උපරිම ගානට තිබ්බ. මමත් ඔය දවස්වල යාහු මැසෙන්ජර් වලට ඇබ්බැහි උනා. 
හරි ඉතින් සියල්ලම අතීතයට අයිති දේවල්නෙ. දැන් දෙදාස් දහයත් පන්නල ස්කයිප්, fb, ට්විටර් වීඩියෝ චැට් දහසක් එකතුවෙලා සංස්කෘතියත් තාක්‍ෂණය හින්දම පොඩ්ඩක් වෙනස් වෙලා. 
අන්න ඒකෙ එක ප්‍රතිපලයක්‌ අපේ ගේ ගාවටම ඇවිත්. 
අල්ලපු ගෙදර පොඩි කොළුවෙක්, කෙල්ලෙක් එක්ක වෙබ් කැම් එකෙන් පෙම් කරනකොට වැඩේ අහුවෙලා. ගෑනු ළමය හංගේරියන්ලු, නෙට් එකෙන්මයිලු හම්බුවෙලා තියෙන්නෙ. කොහොමද වැඩේ හැටි.... 
මූ එහෙ යයිද නැත්නම් කෙල්ලෙ මෙහෙ එයිද නැත්නම් දෙකම නැතිවෙයිද මන්ද, දැනට නම් දෙන්න පනට පනලු,,,, 
ඒ ගෙදරට මැෂිම ඇසෙම්බල් කරල දුන්නෙ මම හින්ද සිද්දිය වෙච්ච ගමන් කතාව මගේ කණටත් ආව. අම්මටයි තාත්තටයි මේ මොන කුනුහරප love එකක්ද කියල හිතනවා ඇති.  
හහ් හහ් හහ්,,,, මේ  වසර 2000 හෙන් එහා ලෝකෙ හැටි.
කෝකටත් කියල බ්ලොග් බලන කට්ටියට අනිත් රටවල කෙල්ලො ගැන පොඩි විස්තරයක් දුන්නොත් හොදයි කියල හිතුන. මොකද වැඩි හරියක් නෙට් එකේ හින්ද ඔයවගේ පලහිලවු වල පැටලෙන්න තියන අවස්ථාව වැඩියිනෙ. (පොස්ට් එක දිග හින්ද කෙටි කරල තියනව.)
1) ලෙබනන් වල ඉන්නෙ බෝම්බ වගේ කෙල්ලො
2) ග්‍රීසියෙ කට්ටිය ස්වීට්
3) රොමේනියාවේ බහු භාර්යා සිස්ටම් එකටත් කෙල්ලො කැමතියි
4) බ්‍රසිල් වලත් හොද හොද කට්ටිය ඉන්නව
පල්ලෙහා තියෙන්නෙ සින්දුවෙන් තමයි රට රටවල කෙල්ලන්ගෙ හැටි  හොයාගත්තෙ,,, ඉන්ටර්නැෂනල් love එකක් පටන් ගන්න කලින් අහල බලන්න වටින සින්දුවක්,,,,


/*  In Romania she pulled me to the side and told me pit you can have me and my sister
In Lebanon yeah the women are bomb
And in Greece you've guessed it the women are sweet
Spinned all around the world but I ain't gon' lie there's nothing like Miami's heat  */




දෙදාස් විස්ස පනිනකොට මොන මොන love තියෙයිද,,,, මොන මොන සින්දු එයිද කෙල්ලෝ ගැන කියල?????

ප:ලි:- කතාවට වඩා කොමෙන්ට් ටිකේ වැදගත් දේවල් තියනව,,,,,

Saturday, December 10, 2011

අමුතු බඩුවක් ,,,,

Spellbinder නැත්නම් මායා බන්ධන කලකට ඉස්සර සෑහෙන ජනප්‍රිය වෙච්ච කතාවක්. ටාසන්, රොබින්හුඩ්, නයිට් රයිඩර්, ඕශන්-ගර්ල් ගෙන් පස්සෙ ආපු කතාව. නිළියන් අතරින් ලස්සන ඕශන් ගර්ල් උනාට  මායා බන්ධන කතාවෙ තියන කුතුහලය ඊට ගොඩක් වැඩියි. සයන්ටිෆික් පැත්තට පොඩි බරක් තිබුනට ඒකත් ඕනිම කෙනෙකුට තේරෙන විදියට ලස්සනට ගලාගෙන යනව.
කතාවෙ නළුවා පෝල්. නිළිය  රියානා එතකොට දුෂ්ටයා, ආශ්කා ඇතුළු අමතක නොවෙන චරිත ගොඩක් තිබුන. ඒ වගේම රංගනයත් උපරිමයි.
මේ කතාව බොරු බව දන්නව උනාට මට එක දෙයක් ගැන නම් මාරම ආසාවක් ඇවිත් තිබුන. ඒ තමයි අර උඩින් යන වාහනේ,,, ඕක ගියේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇතුලෙනේ, ඉතින් මටත් හිතුන කාන්දම් කෑලි ටිකක් අරගෙන මොකක් හරි පාවෙන්න හදන්න උත්සාහයක් ගන්න.
මුලින්ම පරණ කවකටු පෙට්ටිවල, සෙල්ලම් බඩු වල තිබ්බ කාන්දම් කෑලි ටික අරගෙන එක එක විදියට බැලුව. හරි ගියෙ නෑ.
"ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි" කියලත් කතාවක් තියනවලුනෙ. පස්සෙ ස්පිකර් ටිකක් හොයාගෙන ගලවල කරල රවුම් කාන්දම් වලිනුත් ටෙස් කෙරුව. කෝ ඒත් කෑලි ටික එකට ඇලෙනව මිසක්, හරියට බැලන්ස් කරල උඩ හිටින විදියට මෙලෝ දෙයක් හදා ගත්තෙ නෑ.
ම්ම්ම්ම්ම්,,,,,, කොහොමින් කොහොම හරි අන්තිමට මේ පිස්සු වැඩ හින්ද ගෙවල්  වලිනුත් බැනුම් අහල නෝන්ඩිත් වෙලා වැඩේට තිත තියන්න උනා.
මේ කතා ඔක්කොම ආපහු මතක් වෙන්න ගත්තෙ ගිය බදාදා යාළුවෙක් ගෙනාපු අමුතු බඩුවක් හින්ද,, බලන්නකෝ වීඩියෝ එක.

ඔන්න වැඩේ, කොහොමද?? මම පාවිච්චි කරන රුපියල් දෙදාහේ චයිනීස් ෆෝන් එකේ වීඩියෝ නැති හින්ද යාලුවගෙ එක නම් දාන්න විදියක් නැති උනා. නමුත් ඒකත් ඔය උඩ දැක්ක වගේ එකක්ම තමයි.
පි‍ටරටවල ඉන්න අපේ බ්ලොග් කියවන කට්ටිය නම් මේව දැකල කරල ඇති. හැබැයි ලංකාවෙ නම් වැඩිය නෑ කියලයි හිතෙන්නෙ.
අනං මනං කිව්වට මේවගේ අමුතු බඩු ගන්න තැනක් නොකිව්වොත් ඒකත් ලොකු අඩුවක් හින්ද ඔන්න තැන් දෙකකම ලින්ක්. 1) මෙතන 2) මෙතන
එහෙනම් ඉතින්,,,, "යන්නෙ කොහෙද මල්ලේ පොල්" වගේ බ්ලොග් සටහනක් අදටත් ඉවරයි...