Monday, October 31, 2011

මොක කෑවත් අන්තිමට ග්ලූකෝස්,,,,

පහුගිය දවසක බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ හිටපු මල්ලිලා දෙන්නෙක් බර සාකච්චාවක්. 
දෙන්නට ලිහාගන්න බැරි ගැටේ තමයි "දියවැඩියාව හැදුනහම මොකද සමහර කෑම ජාති කන්න එපා කියන්නෙ. පාන් කෑවත්, බත් කෑවත්, කුරක්කන් කෑවත්, සීනි කෑවත් අන්තිමට ග්ලූකෝස් වෙලා නේද ලේ වලට යන්නෙ. ඉතින් ඕව මොකවත් හොද නෑනෙ." 
මේ බ්ලොග් ලෝකෙ ඉන්න සමහර කට්ටියටත් මේ ප්‍රශ්නෙ ඇති. එහෙනම් සරලම  උත්තරය මේකයි.
දියවැඩියාව හැදෙන්නේ අපේ ලේ වල තියන සීනි මට්ටම (මොකක් හරි හේතුවකින්) දිගින් දිගටම හරි ගානට පාලනය කරගන්න බැරි වුනාම (හෝමෝන ස්‍රාවයේ හරි වෙන දෙයක් නිසා). පාලනයක් නැති කොට කෑම කාපුවහම  ටක්ගාල සීනි මට්ටම නගිනවා. කෑම නොකා ඉන්නකොට හොදටම බහිනවා. 
ඔය පිශ්ඨය තියන කෑම එන්සයිම වලින් හෙම ජීර්ණය වෙලා, ඒවල තියන සංකීර්ණ අණු බිඳවැටිලා, ග්ලූකෝස් බවට පත්වෙලා තමයි ඇගට(ලේ වලට ) උරා ගන්නෙ. 
සමහර කෑම පොඩි කාලයකින් ජීර්ණය වෙලා, ග්ලූකෝස් බවට පත්වෙලා ලේවලට ඇතුළුවෙලා  සීනි (ග්ලූකෝස්) මට්ටම වැඩි කරනවා. 
නමුත් සමහර කෑම වලට ඔය තත්වයට එන්න ගොඩක් වෙලා යනව. 
ඔය හින්ද එක එක කෑමට අදුන්වල දීල තියනවා "glycemic index" කියල අගයක්. ඔය අගය වැඩියි කියන්නෙ ටක් ගාල (අඩු කාලයකින්) ලේවලට  සීනි ඇතුළුවෙනවා. ඉතින් ඔය අගය වැඩි කෑම බීම දියවැඩියාව හැදිච්ච කට්ටියට හොදද නෑ. මොකද ඒ කට්ටියගේ ලේ වල සීනි (ග්ලූකෝස්) මට්ටම පාලනය කරන යාන්ත්‍රනය බිදවැටිල හින්ද ඕව කෑවොත් සීනි වැඩි වෙනව. 
නමුත් "glycemic index" එක අඩු කෑම කෑවහම ලේ වලට ග්ලූකෝස් එන්නෙ හෙමීට, වැඩි කාලයකදී. එතකොට තත්වය පාලනය වෙනව. 
ඔන්න කතන්දරේ හැමෝටම තේරෙන තරමට සරලව කිව්ව. 
දැන් ඉතින් ලංකාවේ කෑමවල "glycemic index" එකනෙ අපිට හොයාගන්න ඕනෑ. ඒකට මෙතනින් යන්න.
පිටරට ඉන්න කෙනෙක්ට නම් ලෝකෙම කෑමවල තොරතුරු ගන්න මෙතනින් යන්න.

මේක බ්ලොග් එකකට උචිත තරම් රසයක් නැතුව ඇති. නමුත් දවසම පුටුවක් උඩට වෙලා කොම්පියුටරේ බලාගෙන ඉන්න බහුතරේට හැදෙන්න හොදටම ඉඩතියන (සමහරවිට දැනටමත් හැදිලා තියන) ලෙඩක්. හැදුනොත් හිතටයි ගතටයි දෙකටම අමාරුයි. දීර්ඝ කාලීනයි.....

දඹුලු විහාර රහස්,,,


දඹුල්ල ලෙන් විහාරය කියන්නෙ අපි හැමෝම දන්න, ලංකාවෙ තියන ලොකුම ලෙන් විහාරයක්. මේක හදන්න මුලින්ම මූලික වෙලාතියෙන්නෙ වළගම්බා රජතුමා. එතුමා යුද්ධ සේනා හදන කොට හැංගිලා හිටපු තැනක්ලුනෙ. පස්සෙ නිස්සංකමල්ල රජතුමාත් මේක වැඩි දියුනු කරල තියනව.
මේ විහාරය ඇතුලෙ තියනව ටිකක් විතර ලොකු වතුර භාජනයක්, නිකන් ලොකු මුට්ටියක් වගේ එකක්. මේකට එක එක වතුර බින්දුව ගානෙ වැටෙනව. ඉස්සර මිනිස්සු මේක දැක්කෙ හාස්කමක් විදියට. තවමත් මේ වතුරට ලෙඩ එහෙම හොද කරන්නත්, ආනුභාව සම්පන්න දෙයක් කියල සමහරු සලකනව. ගලෙන් වතුර එන එක ආශ්චර්යක්ලු.
මේක පචයක්ද නැද්ද කියල බලන්න හිටපු මහත්මයෙක් හොද පර්යේෂණයක් එහෙමත් කරලා තියනව. 
මෙතුමා මුලින්ම ගිහින් ඔය වැටෙන වතුර ටික එක්කහු කරල ඒකෙ තියන සංයෝග, මුලද්‍රව්‍ය, විකිරණ ගැන එහෙම හොයල, මහලොකු දෙයක් හම්බවෙලා නෑ.  ඒ පාර ඔය ගුහාව උඩට ගිහින් හොයල බලල තියනව. මෙන්න එතකොට වතුර වලවල් කීපයක්ම තියනවලු. නමුත් අවුරුද්ද පුරාවටම නියං කාලෙටත් වතුර එන්න ටිකක් ලොකුවට වලක් තියෙන්න ඕනිනෙ. තවදුරටත් හොයනකොට හම්බ වුනාලු ගස් වල මුල්වලින් වැහිච්ච ටිකක් ලොකු වලක්. මෙන්නෙ මේකට දාල තියනවා අයඩින්131(131-I)  කියන සමස්ථානිකය. ඔන්න බැලින්නම් ඒව තියන වතුර එනවලු අර ගුහාව ඇතුලෙන්. වැඩේ ගෙඩි පිටින් මාට්ටු. මිනිස්සු හාස්කම් තියනව කියන්නෙ අර ගල උඩ තියන පල් වෙච්ච වලෙන්, ගලේ ක්රැක් එකකින් පල්ලෙහාට වැටෙන වතුර වලට. (ඊයේ පෙරේද සමනල වැවේ ක්රැක් හෙව්වෙ ඔය සිස්ටම් එකට)
ඉතින් ඔයගැන පර්යේෂණ වාර්තාවක් එහෙම ලියල, පොඩ්ඩක් කතාව ප්‍රසිද්ද වේගෙන යනකොට ලොකු හාමුදුරුවන්ට ඌරු ජුවල් නැගල. කියන්නෙ නම් හාමුදුරුවෝ සිවුර උස්සල බැනබැන කියනවලු ආපහු ඔය "කොළඹ වාසිටියේ එකේ බල්ලෙක්වත් මෙහෙට වැද්දගන්නේ නෑ" කියල. කොහොමහරි හාමුදුරුවො මේක ඒ කාලෙ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයටත් කියල. උන්නැහැත් පොඩි වෝනින් එකක් දීල තියනව "මිනිස්සුන්ගෙ භක්තිය නැති කරන්න එපා" කියල.. එහෙම කිව්වහම සද්ද නැතුව ඉන්නව මිසක් රාජක්ධ්‍රෝහියෙක් වෙලා ටයර් සෑයක ලගින්ටද (ඒ කාලෙ තත්වෙ ගොඩක් බැරෑරුම්නෙ),, ඔන්න ඔහොම සද්ද බද්ද ඔක්කොම යටගියා. ඒ දවස් වලත් බ්ලොග් තිබ්බනම් දඹුලු ගලේ රහස එලි කරන්න තිබ්බ....
ඇත්තම කිව්වොත් මේ කතාව ලියන්නත් ඔලුවට ආවෙ අර අලියගෙ දෙවියන්ගෙ කොටහ ගැන දැක්ක හින්ද. 
එහෙනම් ගොඩක් දෙනා දන්නේ නැති කාරණාවක් අදත් කිව්ව, තවත් ඔයවගේ යටගියපු කතා ටිකක් තියනව කියන්න. පුළුවන් විදියට බලමු ලියන්න. එහෙනම් හැමෝටම ජය වේවා........
...................................................




ප:ලි:- radio එක ගැන තව ටිකක් බලන්න ඕනි. කරදරයක් නම් සමාවෙන්න. (මොකක් හරි code ටිකක් ගහල සද්දෙවත් අඩුකරගන්න බලන්නම්). ලංකාවෙ වැඩ වලට පොඩි සපෝට් එකක් දෙන්නත් ඕනෙනෙ (සිරස, හිරු fm වගේ මිලියන පහතියොත් නෙමෙයි). නැතත් ඇඩ් මොකවත් නැති සින්දු තියන එකක්.. ආපහු සමාව ඉල්ලනවා රේඩියෝ එක කරදරයක් නම්,,,,




Sunday, October 30, 2011

කට සහ වචන,,,

අද නෙට් එකේ සර්ච් පාරක් දාගෙන ඉන්නකොට පරණ වීඩියෝ ටිකක් දැක්ක. ඒවල තිබුණු එකක් දැකල මට වෙච්ච අකරතැබ්බෙකුත් මතක්වුනා. 
දවසක් මමයි තව යාළුවො දෙන්නෙකුයි ෆෝම් වගයක් බාරදෙන්න කියල ගියා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයට (UCSC කියල කියන්නෙ). මට මතක හැටියට එකේ තුන්වෙනි හරි හතරවෙනි තට්ටුවට. අදාල වැඩේ කරගෙන ලිෆ්ට් එකෙන් පල්ලට බහිනව. මම ලිෆ්ට් එක ඇතුලට ගිය ගමන් අනිත් දෙන්නගේ කරවල් වලට අත දාගෙන මොකක්ද කියෝ කියෝ ඉන්නව. 
මාත් එක්ක ගිය එකෙක් හෙමීට කියනවා "මචෝ ඔය අත, අත,," කියල. 
මගෙ කට ටිකක් කැතයිනෙ. "මොකද xxතො මගෙ අත මේ තියෙන්නෙ" කියල මගෙ අතත් ඌට පෙන්නල ඉන්නකොට ආපහු මූ මට වැලමිටෙන් අනිනවා. 
"ඒ පාර මොකද බන් උබත් නිකන් අර මාතx ආරච්x වගේ ඇබරෙන්නේ, උඹට ඒ ලෙඩේවත් බෝවෙලාද?" . (මාතx ආරච්x :- මෙයා පිරිමි ළමයින්ට ලයින් දානවට ප්‍රසිද්දයි)
මගේ යාළුවට තේරුනා මම ඉන්නෙ මීටරෙන් නොවෙන වග. පොර කෙලින්ම කිවුව "අනිත් අත පැත්තෙ සර් කෙනෙක්"
අපොයි,,,, මේ මම කරට අත දාගෙන තියෙන්නෙ එතන ඉන්න සීනියර්ම ලෙක්චර් කෙනෙක්ටනෙ. 
"ඕඕඕඕහ්,,, සොරි සර්" කියද්දිම ලිෆ්ට් එක ඇරුන. ඒකට නගින්න සෙනග පිරිල ඒ මේ අස්සෙ අපි තුන්දෙනත් ටක් ටක් ගාල මාරු උනා. 
මොනව කරන්නද හිතල කරපු දෙයක්ද? කොහොම උනත් ආපහු සතියක් දෙකක් යනකන් ඒ පැත්තට ගියේ නෑ. 
සර්ට මොනව හිතුනද දන්නේ නෑ. මහ අසමජ්ජාතියො කියල හිතන්න ඇති... හිහ්  හිහ්  හිහ්... මම ඔහොම කිවුවම මොකද රට කරවන ඇත්තොත් ඇමතිලට ඔහොම කියල බනිනකොට..... හිහ්  හිහ් හිහ්,, හිහ්.....
කෝකටත් මමත් කල්පනා කලා යාළුවොත් එක්ක වුනත් කතා කරද්දි පුළුවන් තරම් හොද වචන පාවිච්චි කරන්න. ගිය වචන ඇත්තු ලව්වවත් ඇද්දගන්න බෑලුනෙ. ඕක ෆොන්සේකටත්, මටත්, බ්ලොග් එක කියවන ඔබටත්, පල්ලෙහා වීඩියෝ එකේ ඉන්න කෙනාටත් පොදුයි.

ෆුකුෂීමා සහ අපි???

මට මතක විදියට පහුගිය මාර්තු 11වෙනිද, මුළු ලෝකෙම බයවුනේ ජපානේ වෙච්ච ෆුකුෂීමා න්‍යශ්ටික අනතුරින්.  මීට ඉස්සෙල්ල ලෝකෙ මේවගේ බරපතල දෙයක් වුනේ චොනොබිල් අනතුර. නමුත් මේ දෙකේ  ලොකු වෙනස්කම් තියනව. චොනොබිල්  අනතුරින් ගොඩබිමත් වායුගොලයත් දූෂණය උනත් ජලයට විශාල වශයෙන් විකිරණශීලි දෑ එකතු වුනේ නෑ. නමුත් ජපානෙ සිද්දිය ටිකක් වෙනස්. ප්‍රතික්‍රියා පැතිරීම වළක්වන්න සහ උෂ්නත්ව පාලනයට ජලය යොදන්න උනා. මේ ජලය මුහුදට එකතු කරනව ඇරෙන්න වෙන ප්‍රතිකර්මයක් ඉතුරු උනේ නෑ. අන්තිමට අධි සාන්ද්‍රිත විකිරණශීලි දෑ අඩංගු ජලය මුහුදට එකතු වුනා. ඒ වගේම සිද්දියේ බරපතලකම වැඩිපුර මාධ්‍යය වලට දුන්නෙත් නෑ. කොහොම හරි අද වෙනකොට ලෝකෙ වෙච්ච බරපතලම න්‍යශ්ටික බලාගාර අනතුර මේක බව පිළිඅරගෙන තියනව.
අපි නොදැනුවත්වම අපේ ජීවිත, පරිසරය ටික ටික විනාශ වීගෙන යනව නේද???
ඔව් ලංකාව ජපානෙට ගොඩක් ඈතීන් තිබ්බ කියල නෑ. ලංකාවටත් ලොකු බලපෑමක් තියනව.

ලංකාවට කිරිපිටි මාළු වාහන තව ගොඩක් දේවල් ගේන්නෙ පිටරටින්. මේ ගේන දේවල් පරීක්ෂා කරන ආයතනත් තියනව. ඒ ආයතනය මගින් ගත්ත සහතිකයෙන් පස්සෙ බඩුටික රිලීස් කරනව.

එතකොට මේවල ලංකාවේ අනුමත ප්‍රමාණ වලට වඩා විකිරණ තියනව කියල අහුවෙලා නැද්ද?
උත්තරය "තියනව"

එතකොට මේවල (විශේෂයෙන් ආහාර) නීතිමය ප්‍රමාණ වලට වඩා විකිරණ තියනව කියල අහුඋනොත් මොකද කරන්නේ???.
අන්න අර මම කියපු ආයතනය තමන්ගේ සහතිකය දෙන්නේ නෑ. එච්චරයි.

මීඩියා වලට කියනවද??
 නෑ.

එතකොට ??? අර ගෙන්නවපු බඩු/ආහාර ටිකට මොකද වෙන්නෙ???
ඉතින් බඩු ටික ලංකාවට එන්න බෑනෙ. මොකද රිලීස් කරන්නෑනෙ. (රජය හිතන්නෙ/කියන්නෙ එහෙමයි)

ඒ බඩු/ආහාර ටිකට  මොකද කරන්නේ. ආපහු හරවල යවනවද? විනාශ කරනවද? නැත්නම් වරායේ අර විකිරණශීලී කෑම ටික ගබඩා කරල තියනවද?
නෑ මෙතක්කල් ආහාර කන්ටේනර් පිටින් හරවල යවලත් නෑ. විනාශ කරලත් නෑ. ගබඩා වල සීල් කරල තියාගෙන මොකවත් කරලත් නෑ.

ඒවට මොකද වෙන්නෙ කියන එක සාධක ඇතුව කියන්න මට බෑ. මේ රටේ වෙන දේ හිතා ගන්න එක ඔබට බාරයි. නමුත් කැත කියන්නෙ මේ ගැන හොදටම දන්න මිනිස්සු හරි. මීඩියා කට්ටිය හරි මේ ගැන කතා නොකරන එක.
නමුත් සමහර විට කවද හරි ඕක ඇදුනත් එදාට කියාවි, ලංකාවේ තියෙන්නේ ලෝ ලීමිට්. විකිරණ කොහෙත් තියනව. cancer හැදෙන්නෙ විකිරණ හින්දමද? (හරියට ආසනික්, රසදිය හම්බ උනාම දැන් කියන්නෙ වකුගඩු ලෙඩේට ඒක සම්බන්ධ නෑ කියන එකනෙ. ඕව ලංකාවට ගේන්න තහනම්, ඕව තියන කෘමිනාශක ගේන කම්පැණි (CIC එක හෙම) ටිකට විරුද්ධ වෙනව කියල කියන්නෑනෙ.)


(පුළුවන් උනොත් න්‍යශ්ටික බලාගාර ගැනත් ලියන්නම්කො)

Saturday, October 29, 2011

"මෙවුව" හදන රිසිපි එක (for chemistry people)

මම බ්ලොග් ලියන්න පටන්ගෙන පොඩිම පොඩි කාලයක්. ලියන්න දෙයක් හිතට නැති කොට එක එක්කෙනා  ලියපුවා බල බලා ඉන්නකොට මම දැක්ක අලියෙක් ලියපු කෙමිකල් කතාවක්. මට හිතෙන්නෙ අලිය ichem යනව වගේ. ඒකෙ තියෙන්නෙ කසිය පෙරන ප්‍රොසෙස් එක ගැන.
දැන් කාලේ හැටියට කසිය කියන්නෙ යල් පැනපු බිස්නස් එකක්. අලිය වගේ උසස් අධ්‍යාපනය ගන්න කස්ටිය කසිය පෙරන්න ගත්තොත් අපිට රස්සා නැති වෙන හන්ද මෙන්න තියෙනව "මෙවුව" හදන රිසිපි එක. මෙවුව කියන්නෙ ඉතින් අර ඉස්පිරිතාලෙ ඉන්න දුමින්ද බිස්නස් කරපුව තමා.
ඉතින් මම කල්පනා කොලා ඔබ තමුන්නාන්සේලටත් දෙන්ඩ කියල 1000කින් හම්බ වෙන්නැති යමක්. (A/L chem කොරල තියනව නම් ඔලුවට දාගන්න ලේසියි,,, )

දැන් ඇස් ගෙඩි 2 දාල බලාපල්ල..

කොහෙන් හරි මෝෆීන් ටිකක් හොයා ගන්න ඕනෙ. ඒකත් ගස් වලින්ම ගන්න පුළුවන්. (සොක්ස්ලට් extraction  එකෙන් ඕගනික් ලේයර් එකට එනව)
ඔන්න ඔය මෝෆීන් සැකිල්ලෙ තියනව ඇල්කොහොල් කාණ්ඩ දෙකක්. ඔය කෑලි දෙක වෙනුවට ඇසිටැල් කෑලි දෙකක් දාගත්ත නම් වැඩේ ගොඩ. ඉතින් බොලවූ ඇසිටික් ඇසිඩ්(මේක දැම්මම වතුරත් හැදෙනව) නැතුව ඇසිටික් ඇන්හයිඩ්රයිඩ් දාපල්ලා. එතකොට මෙන්න බඩු හැදෙනව.බඩු හැදුනට කුඩු විදියට ගන්න නම් crystallize කොරන්ට වෙනව. ආතල් එකට කරනව නම් පරිස්සමින් කරහල්ල.

ඊට පස්සෙ අල්ලගනින් ඇමැටි කෙනෙක්. (ආරස්සොක ලේකම්ව දුමින්ද ඇල්ලුවා වගේ) බයවෙන්න එපා මාට්ටු උනොත් ඉස්පිරිතාලෙට දාල රට යවනව.ම්ම්ම්ම්ම්,,,  කරුමාන්ත ඇමටි වගේ හොදද මන්ද.
මාසෙකින් කොල්ල ගොඩ. කොලබ 7න් ගේකුයි. අබු කමට නිලියකුයි ගන්ට හැක.
ඒ මොකවත් නැත්නම් තමන්ගේ කෑල්ලට කෙමෙස්‌ටිරි වලින් පොර ටෝකක් දාන්න ඕනෙ නම් ඒකටවත් කියහන්. ඔන්න මම ගුරු මුස්ටි නැතුවම වට්ටෝරුව දුන්න.(A/L ,O/L තියා වාසිටියකත් මේව හොයාගන්ට බෑ. පුරාණ ඉසිවර රහස්, හරිය....)


(බහුතරයකට නොතේරුනානම් සමාවෙන්න,, හැමෝම වගේ දාන්නේ කොම්පියුටර් ඒවා හින්ද දූපත් වැසියාගෙන් chemistry එකක් )

Friday, October 28, 2011

ඕනෑවට වඩා ඕනෑද?,,,

අම්මල තාත්තල අපිව පොඩිකාලේ ඉදල හදන්නේ හොඳ පිළිවෙලට හැදිච්ච ළමයෙක් කරන්න. ගෑනු ළමෙයෙක් නම් පිළිවෙල කියන එකට ලොකු තැනක ලැබෙනව. බහුතරයක් සැලකුවහම කාන්තා පාර්ශවය පිරිමින්ට වඩා පිළිවෙලයි. ගැහැණු පිරිමි කවුරු උනත් තමන්ගෙ රැකියාව කරන ස්ථානය පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්නඑක වැදගත්. මොකද එතන ඉන්නෙ තමන් විතරක් නොවෙන හින්ද.
කොහොම උනත් මම හිතන්නෙ මම උපතින්ම අපිළිවෙලයි. ඉතින් රැකියාව කරන තැන කියල වෙනසක් නෑ, ගන්න දෙයක් නෑ. ඉතින් වෙලාවක් කලාවක් නැතිව  ලොක්කොන්ගෙනුයි ලෝක්කියො ගෙනුයි ඇති තරම් බැණුම් අහල ඇති. නමුත් ඒ වෙනකොට සැලරි එක හැදිල තියන විදිය දන්න හින්ද, බණින කට්ටියගෙ කට රිදෙන එක විතරයි.(මම වැඩ කරපු තැන් කවුරුත් දන්නෙ නෑනෙ). මේ සිද්දිය වෙනකොට මම හිටියෙ ටිකක් ප්‍රසිද්ද තැනක කෙමිකල් ලැබ් එකක.  ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, එතෙන්ට ගිය බල්ලෙක්වත් බත් කන්නේ නෑ. ඒ තරම් අබ්ලික්. (ඒ කාලේ 5-S හිතලවත් නෑ). 


ඔන්න දවසක් ලොක්ක කතා කරල ටිකක් සැරෙන් කියුව, ඊලග සතියේ expert එකෙනක් එනව. මිනිහ ඇවිත් ලැබ් ඒක ගැන report එකක් ලියනව. අපිට තව මොනා හරි ගන්න තියන චාන්ස් එක. තමුසෙනේ මෙතන ඉන්නෙ, ටිකක් පිළිවෙලකට තියගන්නවකො... ඔන්න ඔහොම ඇණ ගොඩක්. 
expert කෙනෙක් කිවුවොත් ගොඩක් වෙලාවට සුද්දෙක්. මමත් හිතාගත්ත සුද්දත් හොල්මන් වෙලායන්න දෙන්නම් කියල. එතන වැඩ කරන තව අක්ක කෙනෙකුත් එක්කහු කරගෙන පහුවදාම වැඩේ පටන් ගත්ත. මුළු ඩිපාට්මනට් එකේ හිටපු ඔක්කොම ලැබ් ඇටෙන්ඩන්ලට ඕටයිම් දීල සෙට් කරගෙන ගේම යනව. බොහොම අමාරුවෙන් හොයාගත්ත air-freshner එකකුත් ගහල දැන් ඉතින් නිදන කාමරයක් වගේ.(ඒ දවස් වල ඔය අරුමෝසම් බඩු හිගයි).
සුද්ද එන දවස වෙනකොට ලැබ් එක දැක්කත් ලෙවකන්න හිතෙන සයිස්.දැන් ලොක්කට ෆුල් සැටිස්. ඔක්කොම ක්ලියර්. 
ඔන්න සුද්දත් ආව. ඇවිත් හොදට ලැබ් එක බලල කියල, ටික දවසක් අපිත් එක්කත් ඉදල පොර ලියල රිපෝට් එකක්. අපේ ලොක්කටත් ඒකෙ කොපියක් එවල.
"මේ වගේ ලැබ් මිනිහ කවදාවත් දැකල නෑලු. හරියට වැඩ කරගෙනයන ලැබ් එකක් මේ විදියට කවදාවත් තියෙන්න විදියක් නෑලු. මෙතන තියන බඩු වලින් හරියට වැඩක් ගන්නෙ නැතුව තව මැෂින් මොටදලු."
අපේ සර් පොළොවෙ පස් නොකෑව විතරයි මගෙ හිතේ. ඔය සීන් එක අපේ ආයතනය පුරාවටම පැතිරිච්ච තවමත් කතා කරන, ජනප්‍රියම සිදූවීමක්. 
"පිළිවෙලත්, ඕනෑවට වඩා ඕනෑම නැත."


(තවත් එක්, දූපතේ අත්දැකීමක්)

Thursday, October 27, 2011

තහනම් සුවද බලමුද මගෙ මියුලැසිය,,,,

ඇරයුම:-
ලැබෙන කලට ලැබෙන්නෙ ටොකු ඇන ඇනය
නොලැබෙන කලට නැත කිසිවක්       මහමගය 
අන්සතු උනත් නුඹ නම් මගෙ සිත්          සැරිය
තහනම් සුවද  බලමුද මගෙ               මියුලැසිය
පිළිතුර:-
ලැබෙන කලට ලැබුනත් මගෙ සුවද පොද
ඉස්තිර නොවේ මාගේ තහනම්         සුවද
නොකැළැල් ඔබේ ආදරයේ සිහින   සොද
ලැබේ දිනක එතුවක්‌ කල් සිටිනු         මද


(100%ම දූපත් වැසියා විසින් රචනා කරන ලදී ... උපුටා ගැනීමක් නොවේ.)

රැකියාව සහ බැණුම්,,,

හැකියාවට රැකියාවක්, කීවාට අපි බොහෝ දෙනෙක් රැකියාවට අදාල දේවල් ගොඩක් ඉගෙන ගන්නෙ රැකියාවකට ගියාට පස්සේ. මේ හින්දම අපිටත් වරදින වෙලාවල් ගොඩක් තියනව. කොහොම උනත් අමාරුවෙන් ලබාගත් රැකියාව අපිට එපා නොවෙන විදියට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ගොඩක් වෙලාවට රැකියාව කරන තැන එපා වෙන්නෙ අනිත් අයගෙ කැපිල්ල නැත්නම් ලොක්කගෙ බැණුම්.
අපි හිතාගෙන ඉන්නවට වඩා සමහර  මිනිස්සු ගොඩක් වෙනස්. ලොකු පෞරුෂ තියන මිනිස්සු දෙවිවරු වගේ නෙමෙයි. එක්කෝ කුණු ලොබයෝ, නැත්නම් මහ අළුගුත්තේරුවො. 
ඔහොම නැති අය ඉන්නවා නම් ගොඩක් අඩුවෙන්. මට නම් හම්බුවෙලම නෑ.එක උදාහරණයක් දෙන්නම්, ජxන්ත ධර්මදාස කියන්නේ කවුද කියල දන්නවනෙ. පොර තමන්ගේ යටතේ වැඩකරන සුළු සේවකයෙක් වාඩි වේච්ච පුටුවකවත් වාඩි වෙන එකෙක් නෙමේ. අළුතින් මොකක් හරි open කරනව නම් හොරෙන් නැකතක් හදාගෙන ඒ වෙලාවට විවෘත කරල පස්සෙ කවුරු හරි  දේසපාළුවෙකුට කියල විවෘත කරනව.(පවු ඉතින් රටේ ලොක්කොත් හිතනව ඇති තමුන් තමා විවෘත කරන්නේ කියල). නමුත් දන්න කට්ටිය දෙකොනින් හිනාවෙනව. කතාවෙන් පිට පැන්නට මේව තිත්ත ඇත්ත. (බ්ලොග් එකකින් හැර මේව එලි කියන්න ගියොත් පොලු පාරවල් කාලත් ගෙවන්න බැරිවෙයි.)
ඔන්න මමත් කාලයක් එක ආයතනයක රැකියාවක් කලා. (මොකක්ද කියල පුලුවන්නම් හිතාගන්න) . ඔන්න දවසක් හෙන නඩුවක්. මට කිසිම අදාල දෙයක් නෙමේ. නමුත්  එතැන හිටපු මගේ immediate bossටයි මටයි එන්නලු. ඒ වේලාවේ මගේ immediate බොසා, ලොක්කගේ සෙකට්රිට කියපි මෙයා තාම අළුත් ඒ හින්ද මම විතරක් එන්නම්,, ඔන්න ඔහොම මාව බේරුවා. (ලොකු බොසා දර්මමෙ කිවුවට, ටයි කෝට් දැම්මට, බනිනකොට බනින්නේ බල්ලන්ටත් අහගෙන ඉන්න බැරිවෙන්න).
ඔන්න මෙයා ගිහින් අම්බානෙකට කුණු බැණුම් අහල ඇවිත් ඔෆිස් කාමරේට ඇවිත් මට කතා කරනව.
බොසා: පුතා දන්නවද දැන් මොකද උනේ කියල.
මම: නෑ සර්, ඇයි ?
බොසා: මම දැන් ටිකකට කලින් කිසිම අදාල නැති දේකට බැණුම් ඇහුව. වරදක් කලත් නැතත් මේ වගේ තැන්වල ඉන්නකොට බැණුම් අහන්න වෙනව. එතන හරි වැරදි කතා කරන්න බෑ. ඔයාව එතනට එක්කගෙන ගියා නම් හෙටම මෙහෙන් අස්වෙලා ගෙදර යනව.
මම: හ්ම්ම්ම්,,,
බොසා: ඒත් පුතා මතක තියාගන්න ප්‍රයිවට් සෙක්ෂන් එකේ වැඩ කරනකොට ඔයාගේ සැලරි එක හැදිල තියෙන්නෙ බැනුමත් එකතුවෙලා

"ප්‍රයිවට් සෙක්ෂන් එකේ වැඩ කරනකොට සැලරි එක හැදිල තියෙන්නෙ බැනුමත් එකතුවෙලා" - මේක මම මගේ රැකියා ජීවිතේ අහපු හොදම උපදේශය. එදා ඉදන් වැඩ කරන තැන ලොක්ක මැරෙනකන් බැන්නත් කිසිම ගානක් නෑ. 
 

Wednesday, October 26, 2011

පැතුම්,, සිහින,,,මට අහිමිද,,,




ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් උනාදෝ
මගේ සිහින ටික විසිරී ගියාදෝ

අනේ ගිරඋනේ මා බස අසාපන්
අනාගතේ තැන කොතැනද සොයාපන් 
ගෙදර තනිව මා ඉදිතේ කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්

පරණ notes ටික තාමත් දිස්වෙනවා 
ඉදල හිටල සමහර පොත් පෙරලනවා 
ඉස්සර කරපු ජොලි වැඩ මට සිහිවෙනවා 
හිතේ දුකට එතකොට කවි කියවෙනවා


(ඉහත කවි රචන අයිතිය දූපත් වැසියා සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීමට කිසිම තහනමක් නැත.)

Morphological species කන්සෙප්ට්,,,

Morphological species concept යනු සත්වයින් දෙදෙනෙකු ජීවී විශේෂ දෙකකට අයත්ද නැත්නම් එකම විශේෂයේද යන්න නිර්නය කිරීමට පාදක කරගන්නා එක් සංකල්පයකි. Biological species concept යන්න තවත් එකකි. එයට අනුව නම් ජීවින් දෙදෙනෙකු  එකතුවෙන් සරු ජනිතයෙක් බිහිකළ හැකිනම් ඔවුන් එක් විශේෂයකට අයත්ය. 
නමුත් morphological species concept යනු රූපකාය අනුව ජීවින් වර්ග කිරීමයි. බැලූ බැල්මට දෙකේ ලොකු වෙනසක් නැතැයි සිතුනද මෙම සංකල්ප දෙක ගැටෙන අවස්ථා එමට ඇත. 
ලංකාවේ සිටින මාපිලුන් වර්ගයක වන නාග මාපිලාත්, ගැරඩි මපිලාත් බාහිර රුපාකය අනුව සත්ව විශේෂ දෙකක් ලෙස සිතුනද ඔවුන් වර්ග දෙකේ ජන්මානු සංසේචනයෙන් තවත් සරු මාපිලෙක් බිහිකළ හැක. එමනිසා  biological species concept යටතේ Boiga forsteni යන විද්‍යායාත්මක නාමයෙන් හදුන්වයි. තවත් උදාහරණ රාශියක් ඇති අතර මට හැගෙන පරිදි දැන් මේවා A/L  පන්ති වලත් උගන්වන විෂය කරුණුය.
මේ පරණ තියරි මතකයට නැගුනේ මෑතකදී සිදුවූ සිදුවීමකිනි. මගේ යාළුවෙකුගේ වැඩකට අපි මෙඩිකල් equipment ආනයනය කරන ආයතනයකට ගොඩ වැදුනි. අපි ගණන් මිණුම් අහන්නට ගත්විට මෙන්න මේකා හෙමීට මාකටින් පාරකට හේත්තුවිය. 
මෙඩිකල් රෙපා:- මම ඩොක්ටර් මයියටත් ගිය සතියේ බඩුවගයක් දුන්නා. lanka hospital එකටත් ගන්නෙ මගෙන්. 
--ඔන්න මිනිහ පොර ටෝක්ස්. මාත් ඉතින් අහපි අර අහවල් ඉස්පිරිතාලෙට.. 
මෙඩිකල් රෙපා:- අපොයි ඔව්, මම එහාට infusion pumps දුන්නනෙ.
මම:- ඔයා ඩීල් කරන්නෙ මොන ඩිපාට්මෙන්ට් එකත් එක්කද?
මෙඩිකල් රෙපා:- බයෝමෙඩිකල්නෙහ්.. එතන ඉන්නේ අර අහවලානේහ්. (හත්වලාමයි... මෙන්න මූ මගේ නම කියපි).
---යකෝ මේ මොකෙක්ද  මූ , මම නැතුව තව එකෙක් ඉන්නවද එතන- මූ මාව පොටෝ එකකින්වත් දැකල තියනවද මන්ද. මම මූව දන්නේ නෑනෙ බොල.
මම:- ආආආ,,,  එහෙමද , ඒ මහත්තයනම් මමත් ටිකක් දන්නවා... බ්ලා..බ්ලා..
කොහොම උනත් මූට මාව අදුරගන්න බැරි උනා. මටත් කිසිම මතකයක් නෑ මේ වගේ කෙනෙක් ගැන. එක්කෝ මේක මුගේ කපටි මාර්කටින් පාරක්. ඕකට කියන්නෙ name dropping. (ඕනි කෙනෙක්ගේ විස්වාසය දිනාගන්න සිරා සිස්ටම් එකක්) තමන් හොදට අදුරනව වගේ ඇක්ට් කරනව. 
නැත්නම් අඩුමගානේ මේ මෙඩිකල් රෙපා මාව දැකල ඇති. නමුත් මම දැන් ඉස්සරට වඩා පෙනුමින් ගොඩක් වෙනස්. දිගට තිබ්බ කොන්ඩෙ රැවුල  කපල. කරාබුව දාන්නෙත් නෑ. හරියට Morphological species concept එකේ හැටියට මම ඉස්සර විශේෂයේ නෙමේ. දැන් වෙන එකක.

Tuesday, October 25, 2011

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති,,,

හැමෝම කුඩු දුමින්ද සහ භාරත ගැන කතා කරති. සමහරු මුලින් සිතුවේ දූමින්දයාට කෙලවේ, නැටුම ඉවරයි සිතාය. නමුත් ගෝඨාභයගේ මනුස්සකම නිසා දැන් ඔක්කොම ශේප් වෙන සැටියකි. මෙවැනි සිද්දි අසුව දශකයෙන් මෙහා ඉපදුන කොල්ලන්ට කෙල්ලන්ට අරුමයක් වුනිද කෙස් පැහුණු උදවියට නම් තවත් එක් කතාවක් පමණක්ම විය.  

නාලන්ද එල්ලාවල යනු එකල රත්නපුරයේ පුංචි රිදී සීනුව විය. භාරත මෙන් තගෙක් නොවීය. ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ හෙතෙම මහමගදී වෙඩි කන්නේ දෙනෝදාහක් බලාසිටිද්දීය. කුරුවිටදී  වෙඩි තැබීමකින්  ඝාතනය ලක් වූ අතර සැකකරුවන් ලෙස සුසන්ත පුංචිනිලමේත්, මහින්ද රත්නතිලකත් හැදින්විනි (හරියටම මෙදා කුඩු දුමින්ද ලෙසමය). රත්නපුරයම හැඩුවා පමණක් නොව ගිනි ජාලාවක් විය. UNP කාර්යාල බොහොමයක් ගිනි තැබූ අතර සුසන්ත පුංචිනිලමේත් සහ මහින්ද රත්නතිලකට හිතවත් කඩ සාප්පුද ගිනිබත් කෙරිනි. සුසන්තටත් ඔහුගේ අම්මාටත් ලියු කුණුහරපද පෝස්ටර්ද සෑම තැනකම විය. 
කලක් ගතවින. නඩු විභාගය ඔහේ ඇදි ඇදී ගොස් කොහේවත් නැති කෙනෙක් අන්තිම වරදකරු විය. අවසානයේ ඔහුටත් සාක්ෂි මද බැවින් මහා දඩුවමක් නම් නොලැබිණි. මේ ලංකාවේ හැටි එය බව කවුරුත් දැ‍නගතයුතුයි යන්න මගේ හැගීමයි.  පසුව පක්ෂය මාරුකල සුසන්ත පුංචිනිලමේ දැන් සන්ධානය යටතේත් ධීවර නියෝජ්‍ය ඇමැති ලෙස යහතින් දිවි ගෙවයි.
නමුත් ලෝක ධර්මය එසේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. විජේවීරට ගේම දුන් රන්ජන් විජේවර්ධනට ප්‍රේමදාස ගේම දුන් අතර ප්‍රේමදාසට ගේම දුන් ප්‍රභාකරන්ටද අන්තිමට වැරදුනි. එය එසේනම්, නීතිය කෙසේ වෙතත් කුඩු දුමින්දට මෙන් සුසන්ත පුංචිනිලමේටත් වරදින දිනයක් එනු ඇත. එදිනට ජනතාව රතිඤ්ඤා පත්තුකර කිරිබත් කා වෙනත් මැරයෙකුට කතිරය ගසනු ඇත.


ප.ලි:- කිසිම කෙනෙකුට මඩ ගසන අරමුණින් තොරව, මට හැගෙන පරිදි ඇත්ත ඇති සැටියෙන් දක්වන ලදී.



යාන්තමින් ගොඩ දැම්මා BSc,,,



සයන්ස් ලොවේ හොදම තැනයි Ph.D
අපිට නෙලිය නොහැකි මලයි M.Sc
යාන්තමින් ගොඩ දැම්මා B.Sc
විහින් වැටුනු හොදම වලයි M.Sc 







Monday, October 24, 2011

Street මැජික්,,,

දුපත් වැසියට නිකන්ම කකා බිබී ගෙදර ඉන්නත් බැරි නිසා , කම්මැලි කමත් අඩු වෙන්න (ලස්සන කෙල්ලෙක් එහෙම දැක ගන්නත් එක්ක)අද උදෙන්ම ගෝල්face යන්න සෙට් උනා. ටිකක් දුර යනකොට මෙන්න පොරක් කතා කරනව. මල්ලිල card මැජික් එකක් පෙන්නන්නද? ඊඊ ඊඊ,, මම ඕව දන්නව බොස්. දන්නෙ නැති එකක් නම් හා...  ඔන්න ඔහොම කොළඹ භාෂාවෙන්ම උත්තර දීල, කොහොමහරි එතැනින් මාරුවෙලා රවුමක්‌ ගිහින් ගෙදර ආවහම පරණ මැජික් වැඩ ටිකක් මතක උනා. පහල වීඩියෝ එකේ තියෙන්නේ අද උදේ අර පොර මට පෙන්නුව වගේ එකක්. හිතල බැලුවොත් බොහොම සිම්පල් වැඩක් .. මුලින්ම බලන්නකො.. 

මේක ගොඩක් දෙනා දන්නව . දන්නෙ නැත්නම් විසදලා දෙන්නම් . හරිම ලේසියි.  මුලින්ම අර පෙන්නන්නෙ කලාබර 4. නමුත් පෙන්නනකොට කොල දෙකක්ම එකට අල්ලනව. වෙන විදියකට කියනවා නම් මුලින්ම කොලේ හාට්ස් 10ක්, දෙවෙනි කලාබර 4ක්. ආපහු  අනිත් පැත්ත හරෝල උඩට එන හාට්ස් 10 අතට දෙනවා පෙන්නන් නැතුව තියාගන්න කියල .
දෙවැනියට කොලයක් පෙන්නනකොට උඩම කොලේ කලාබර 4ක්. නමුත් ඒ පාරත් කොල දෙකක් එකට අල්ලල පැක් එකේ දෙවෙනියට තියන හාට්ස් 10ක් පෙන්නනව. ආපහු ඒ කොලේ අනිත් පැත්තට හරවල පැක් එක උඩින තියල ආපහු අරගන්නකොට ගන්නේ උඩ කොලේ (කලාබර 4)...  ටිකක් වනල කරල පෙන්නනව.. වැඩේ සිම්පල්....

උඩ තියන එක පහදන්න පුළුවන් උනාට . පල්ලෙහා තියන එක google දෙවියන්ටත් හරියට කියන්න බෑ වගේ. බ්ලොග් අවකාශෙ ඉන්න කෙනෙක් කියල දුන්නොත් මමත් හෙට ඉදන් බහිනව street මැජික් වලට.





අපි,,,,

මාලෙ කරේ
චේ පපුවේ
නෑ මොකවත් 
හිස් ඔලුවේ,,



(138 bus එකකින් කොපි කරන ලදී)

Sunday, October 23, 2011

කලු කඩ, සුදු කඩ සහ ලංකාවේ මුද්දර කාර්ය්‍යාංශය

ලංකාවේ පාඩු ලබන ආයතන අතරින් තැපැල් දෙපාර්තමේන්තුවට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. පාඩුව විතරක්ම නොව හරියට මුද්දරයක්වත් අච්චු ගහගන්නට බැරිය. උදාහණ ඇති තරම් ඇත. මේ වසරේ බුද්ධ ජයන්තියට ගහපු එකත් අනාගත් අතර මේ අනාගැනීමේ කලාව නිදහස ලබාගත් දවසේ සිට තිබුණි. එක් වරක් අයියාගේ මුණ වෙනුවට මල්ලිගේ මුණ දමා මුද්දරයක් නිකුත් කළහ.තව වරක් අකුරු වරද්දා ගත්හ.(ඔවැනි ගොන් කං ගමකට ඇත) කොටින්ම කියුවොත් ලංකාවට නිදහස ලැබෙනවිට මුද්දරයක් නිකුත් කරගැනීමට නොහැකිවිය. මෙසේ සිදුවුවද වැරැද්දට දඩුවමක් නම් කවදාවත්ම නැත. (ඔෆිස් වෙලාවෙත් ෂොට් එක දාල ඉන්න පොරවල්නෙ ඇප්රූ කරන්නෙ. ඔයින් බේරෙනවා හොදටම ඇතිය.)
බොහෝ වසරවල් වල මුද්දර කාර්ය්‍යාංශය හා තවත් ආයතන හා එක්කව ප්‍රදර්ශණ පවත්වන අතර පසුගිය වසරේද    පැවැතිනි. නමුත් එය නම් කර තිබ්බේ "1st national Stamp Fair 2010" ලෙසය. (මහින්ද රාජපක්‍ෂට පේන්නට ජීවන්ගේ ගොන් නමකි). කතාවේ ආරම්භය මෙතැනිනි.
 ඕනෑම දෙයක් රජය විකුණනනේ අඩුවෙනි. මුද්දර මිල කොහොමත් අඩු තැපැල් කාර්ය්‍යාලවලය. නමුත් මෙහි මුද්දර කාර්ය්‍යාංශය විකිණූ බොහෝ දෑ ඊට වඩා අඩු මුදලට පුද්ගලික කඩ වලින් ලබාගත හැකිව තිබුණි. ලබා දුන් බඩු වලට  බිල්පත් නිකුත් නොවිණි. පුද්ගලික අංශය "first day covers" විකිනීම නැවත්විය. මක්නිසාදයත් ඕවුන්ගේ මිල ඊට අඩු විය. මුද්දර කාර්ය්‍යාංශයට වැඩිමිලට විකුනනටදී හෙමීට තමන්ගේ බඩුටිකේ මිලත් උස්සන ලදී. මුද්දර කාර්ය්‍යාංශය කළු කඩයක් වුනි. හිතුමතේ විකිණූ රජයේ දේපොළ නියමිත ගණන් පසුව බිල් වලට දමා ලොක්කෝ ටික ඉතිරිය තමන්ගේ සාක්කු වලට බර කලහ. ජීවන් ඇමති ගැන කියන්නට නොදන්නමුත් පෝස් මාස්ටර් දිසා ඇතුළු සෙට් එක නම් කම්ඹ හොරුය. මේවතාවෙත් ගියපාර තොවිලයම නටනු ඇත. එන සිකුරාදා සිට "stamp fair" පැවත්වේ. ඔබත් පැමිණෙනවා නම් මුද්දර මිලගණන් පිළිබඳ විමසිලිමත් වීම වටී. මුද්දර කාර්ය්‍යාංශයෙන් මිලදී ගන්නාවිට බිල්පතක් ලබාගන්න.
.................
දෙහි කැපුවා ඇති. දැන් පොඩ්ඩක් කඩේ නොගියොත් සුදු වෑන් සහ 4 වෙනි තට්ටුවේ තපින්නටද බැරි නැත.

ඔබේ විනෝදාංශයත් මුද්දර එකතු කිරීමද?මෙවර ප්‍රදර්ශනය මේ සතිය අගදී මුද්දර කාර්ය්‍යාංශයේදී පැවැත්වෙනවා ඇති. මුද්දර මිලදීගැනීමට මහගු අවස්ථාවකි.
බොහෝ දෙනා නොදන්නා නිර්මාණශීලී සේවාවක් මුද්දර කාර්ය්‍යාංශය විසින් සපයයි. එනම් ඔබේ ඡායා රූපයකින් මුද්දරයක් නිකුත් කරගැනීමේ අවස්ථාවයි. මමත් ගියවර මගේ මුණ දමා මුද්දරයක් ගස්සවා ගත්මි. කෙල්ලෙක් ඉන්නවනම් ඔන්න දෙන්න හොදම present එක.(post එකේ වැදගත්ම දේ ,, හෙහ් හේ )
ෆොටෝ එකක් පෙන් එකකට දමා රුපියල් 500ක් රැගෙන යන්න අමතක නොකරන්න. (500 පසුගිය මිල වන අතර දැන් මිල නොදනී)

සිගරට් දැන්වීම් වල ඇති " දුම්කොළ භාවිතය පිළිකා අතිකරයි. මෙය රජයේ අවවාදයයි." මෙන්ම "රජයේ මිල ගණන් වලට නොරැවටෙන්න. මෙය දූපත් වැසියාගේ අවවාදයයි."

නීතිය නැ ආතල් දන්නේ,,,,,




ජොලියක් ගන්නට,
සොමියක් ගන්නට,
හෙමි හෙමිහිට අපි සෙට් වන්නේ,,,


රිය පදවන විට,
මාටටු වූ විට,
නීතිය නැ ආතල් දන්නේ,,,,,



(captured @ rathnapura,, 25/08/2011)

පොඩ්ඩක් බීල මාට්ටු නොවී ඉන්න විදිය තව පොස්ට් එකකින් කියන්නම් ,,,

කොන්දොස්තර අයියා

අපි හැමෝම දන්න 138 රුට් එකේ අපි සෙට් එක ඔන්න යනව පොඩි රවුමක් ,,, 138 රුට් එක දන්නේ නැත්නම් centigrade ල කියන සින්දුව මෙතන.
බස් එකේ ඉස්සරහම සීට් එකේ (ඔව් අර හාමුදුරුවෝ වැඩි වෙන එක) ඉන්නවා පොරක් ගෝටඉම්බර වගේ. සීට් ඒකෙන 10/9 ක්ම මෑන්ස්ට,,
ඒ මේ අස්සෙ කොන්ද කෑ ගහනවා මල්ලි වාඩි වෙන්න, මල්ලි වාඩි වෙන්න .... තෝරු මෝරු අස්සෙ හාල්මැස්සෝ ගහන්න බෑ නෙව.

දැන් නුගේගොඩත් පාස් ,,, මු ඉස්සරහට එන එන පාරක්ගානේ මල්ලි වාඩි වෙන්නලු,, මට ඇනලත් පෙන්නනව.. අම්මප මම ඔච්චර කේට්ටුද අතන වැඩි වෙන්න.
ඉවසල ඉවසල බැරිමතැන (මගේ කට) "අයියේ එහෙ මෙහෙ රිංන්ගන්නැතුව වාඩි වෙන්නකෝ මෙන්න මෙතන, අපි කඩමු ටිකට් නේද බං",,,,,,,,,,,,,,,,,,,,,,
තුම්මුල්ලෙන් අපි බහිනකන් අයියගේ කට බ්ලොක්,,
.........................................................
තව කාරණාවක් මතක උනා. මේ කතාවට සම්බන්දයක් නෑ.. මට වෙච්ච අමතකවීමක්.
ලගදි දවසක රු500/= දීල ඉතුරු අමතක වෙලා ආපහු ගියහම , ටක්ගාල හිනාවෙවී දුන්න, මහරගම කොටුව 4562 වැඩ කරන අයියට ගොඩක් තෑන්ක්ස්. එල කොල්ලෙක්... කලාතුරකින් දකින හොද පුද්ගලයෙක්.

තව බ්ලොග් එකකින් හමුවෙමු,,, 1st post එකට මුලින්ම  comments දාල දිරිගැන්වීමට ස්තුතියි මහේෂ්.

Saturday, October 22, 2011

NO SMOKING සහ බොස්,,,

අපේ ලොක්ක .... ඒ කියන්නේ ඔෆිස් එකේ බොසා.. පොරත් මම වගේම සිරා කම්මැලියෙක්. පොර දවල් රෑ කියල කිසි වෙනසක් නෑ ice. අපිත් එහෙම තමා. කොහොමත් රජයේ තැන වල ice බව අමුතුවෙන්කියන්න ඕනේ නෑ නෙහ්. නමුත් අපේ තැන පොඩි වෙනසක් තියනවා ... අපේ තියනවා dark room ekak.. ඕක තියෙන්නේ ෆිල්ම් ඩිවලොප් කරන්න. දැන් ඒක ඇතුලෙ කිසිම දෙයක් කරන නෑ. නිකන්ම කළුවර කාමරේ. අපේ සෙට් එක බට ගහන්නත්, ලොක්ක නිදාගන්නත් පාවිච්චි කරන්නෙ කළුවර කාමරේ....
ඔන්න දැන් තමා කේස් එක ... ලොක්ක අමද්යපයි.... සිගරට් අරක්කු මොකවත් නෑ.....  බොසා කාමරේට එනකොට අපි නැගිටලා ගියාට සිගරට් ගද තියනව. ඔන්න පොරට මල .... එත් ඉතින් බොන්නෙ කවුද දන්නේ නැති හින්ද බනින්න බෑ...
ඔන්න මෑන්ස් ගේ ඔලුවට එනව සිරා idea එකක් .....

අමරපාල (වැඩිපුරම බට ගහන්නේ මූ) ,,,,, මෙන්න මේක "dark room" එකේ ගහන්න ,,,   ගහපි බෝඩ් එකක්... NO SMOKING......


වැඩ කිඩ ඔක්කොම ඉවරයි ,,,, දැන් ඉතින් කොහොමද බට ගහන්නේ ,,,,,,
හෙහ් හේ ,,,, එහෙම නෑ බොල,,, අපේ ඔලු හිස් ද ?

අපිත් ගැහුව බෝඩ් එකක් අර no smoking ගහපු තැනට පහලින් .... NO SLEEPING,,,,
...........................................
හුහ් හුහ් හූ .... ආයේ ඇපත් නෑ.
කටවල් හ්ම්ම් නෑ සද්ද,, ලොක්කත් මොකවත් දැක්කේ නෑ ගානයි ..
ඊ ට පස්සේ ආසාවකටවත් ලොක්කා රූම් එකට (වැරදිලාවත්)  නෑ එන්නෙ,,,,
දැන් වෙනකොට බෝඩ් 2 කම නෑ. බට නම් දිගටම ගහනවා..

බ්ලොග් ලෝකයට

blog ලෝකයට ඔලුව දාන්නට හිතිල හුග කාලයක්. නමුත් ලංකාවේ බහුතරයක් වගේ මමත් හැමදෙයක්ම කල්දාන dial එකක්.
කොහොමහරි ඔන්න අද හිතුන මේ වැඩෙත් පටන්ගන්න කියල. ලියන එක ලීසිම නෑවගේ. කොහොමත් කිසිම දෙයක් ලේසි නෑ නෙහ්.. හැබැයි හිටපු තරම් අමාරු නෑ.. මීට අව්ව්රුදු 15 කට විතර කලින් කව්‍ද හිතුවේ අපිටත් නෙට් පාවිචිචි කරන්න පුළුවන් කියල.. ෆෝන් එකක් දකින්නත් පින් කරන්න ඔනි.
short and sweeeet කියල මගේ පළමු පොස්ට් එක .....