Sunday, February 12, 2012

යුධබිමේ අමතක සටහන්...

යුද්ධයේ පැතිකඩක් තිරයට නගන "මාතා" මේ දවස් ටිකේ උණු උණුවේ ප්‍රදර්ශනය වෙනව. මුල් පැය බාගෙ නම් උපරිමයි. හිතාගන්න බැරි තරම් උපරිමයි. නමුත් පස්සට යද්දී කතාවේ ෆ්ලෝ ඒකට අදාළ නැති දේවල් දාල හමුදාවේ වැඩ කිඩ ටිකකුත් තියනව. කොහොමත් පොස්ට් එකේ අරමුණ ඔය ෆිල්ම් එක නෙමේ. ෆිල්ම් එකක් කරන්න පුළුවන් තවත් කතාවක්.
හරි ඉතින් ඔය ෆිල්ම්, නවකතා වගේ දේවල පොඩි ඇත්තකුත් ඒ ඇත්ත ඇතුලේ ලොකු ප්‍රබන්ධයකුත් ගොතල තියනව. පෝසත් කෙල්ලෙක් අන්තිම දුප්පත් කොල්ලෙක් එකක පැනල යනව නැත්නම්  කොල්ල දහයකට පහළොවකට ගහල කෙල්ලෙක් බේරගන්නව. කදුළින් තෙත් උන ප්‍රේමකතා සහ සටන් එදා වගේම අදටත් හොදට මාකට් වෙන ටොපික්.
නමුත් සත්‍ය ලෝකෙත් බොහොම විරලව හරි ඔයවගේ සිදුවීම් නෑ මයි කියන්නම බෑ. තියනව. නමුත් විවිධ හේතු හින්ද හරියට එළියට එන්නෙ නෑ.
මම කියන්න හදන කතාව සිද්ධ උනේ යාපනය ප්‍රදේශයේ, කොටි කචල් උපරිමයට තිබුන දවස වල. කොටින්ගෙ පිස්තෝල කල්ලිය, හමුදාවටයි පොලිසියටයි මහා වාතයක් වෙලා තිබුන. ඉස්කෝලෙ ළමයි එක්ක ඇවිත් වෙඩි තියල  ශේප් වෙනව. දවසක් ඔන්න ඔය පිස්තෝල කල්ලියේ සෙට් එකක් අල්ලන්න කියල ඔත්තුවකට සීමිත නිලධාරීන් පිරිසකගෙන් හැදුන භට පිරිසක් මහ රෑ පොඩි මෙහෙයුමක් කළා. නමුත් අවාසනාවකට කොටි මේ ගැන සෙවිල්ලෙන් ඉදල.
හමුදාවට සිද්ද උනේ ඉල්ලගෙන කනව වගේ වැඩක්. කොටි වටකරගෙන වෙඩි තියනකොට ජීවත් වෙන්න තියන වාසනාව නැතිවෙලා ගියා. ඒ වෙනකොට පලාලි වලත් දරුණු සටන්. කොහොම හරි සපෝට් එකට වැඩිපුර භට පිරිසක් ලැබුනේ නැහැ.
ෆිල්ම් වල වගේ ඇත්ත ජීවිතේ වැඩ සිද්ද වෙන්නේ නෑ. එතන හමුදාවේ හිටපු ඔක්කොමලට වගේ ජිවිතය නැති උනා.
තමුන්ගේ සහෝදරයො ටික වෙඩි කාල වැටෙනකොටත් නොසැළී සටන් කරපු කෙනෙක් හිටිය. ඔහු තරමක උසස් නිලදරුවෙක්. අන්තිමට ඉතුරු වෙලා හිටපු ටික දෙනාත් එක්ක ප්‍රතිරෝධය අඩුම පැත්තකින් ආපහු පහු බහින්න අන්තිමට තීරණය උනා. කොහොමත් ඒ වෙනකොට උපදෙස් ලැබිල තිබ්බේ පහුබහින්න මොකද පහළොවක් විස්සකට, සියක් එකසිය පනහක් එක්ක හැප්පෙන්න බැරි හන්ද. ඔන්න ඔය කියපු පහු බහින වැඩේදි මම අර කියපු නිලධාරියාට පිටුපස්සට එන්න බැරි උනා.
ඔන්න කට්ටිය කෑම්ප් එකට ගිහින් බලද්දී අර නිළධාරියාත් මිසින්, වෙන විදියකට කිවොත් මැරිල. නමුත් බොඩියක් නැති හින්ද හැමෝමව වැටුනේ අතුරුදන් වෙච්ච ගොඩට. මේ කියන දවස වල කොටින්ට හමුදාවේ කෙනෙක් අහු උනත්, හමුදාවට කොටින්ගේ කෙනෙක් අහු උනත් වෙන්නේ එකමදේ. එහෙම නැතුව දැන් කේ.පී ට වගේ කේක් කවල කොපි පොවන්නෑ.
ඔන්න කට්ටිය හිතන ඉන්නේ අරය නැති උනා කියල. ගෙදරටත් පණිවිඩය ගියා. හැබැයි ඇතටම එහෙම උනේ නෑ. එවෙලේ ඔහුට පස්සට එන්න බැරි උනත්, ඇග පුරාම තුවාල වෙලා දුවාගන්න බැරි උනත්, හොදට සිහිකල්පනාව තිබ්බ. කෙලින් හිටගන්නවත් පණක් තිබ්බේ නෑ. මහ රෑ කළුවරේම හැංගෙන්න තැනක් හොයා හොයා බඩගෑව. අන්තිමට ඔහු තරමක ජනාකීර්ණ නිවාස පේළියකින් යුක්ත තැනකට එනව.
වටින ගොඩින් එලිය වැටීගෙන එනකොට ඔහුටම තේරෙනව තවත් මෙහෙමම හිටියොත් නිකන් බෙල්ල කපාගත්ත වගේ වෙනවා කියල. අන්න එහෙම හිතල ඔහු තමන්ගේ සසරේ ගත්ත නිවැරදිම තෝරා ගැනීම කරනව.
ගෙවල් අතරින් තරමක ලොකු නිවසකක් බලල අන්න ඒකට ගිහින් දොරට ගහනව. ජීවිතය පුදුමාකාරයි කියන්නේ මේවගේ දේවල් වලට. ඒ ගෙදර හිටියෙ තරුණ දොස්තරවරියක්. කොටින්ගේ පාලනය තිබ්බ තැනක උනත් ඇය ඔහුට උදව් කළා. බරපතල තුවාල තිබ්බ ඔහුට හැකි පමණ බේත් දීල දවස් කීපයක් කාටවත් නොකිය හොරෙන් ගෙදරම නවත්ත ගත්ත.
ඒත් ඇයට ලොකු ප්‍රශ්නයක් ආව. මොකද මෙයාව ඉස්පිරිතාලෙකම නවත්තන්න ඕනි හින්ද. තුවාල ඒ තරම් බරපතලයි. කොටි ඉන්න පැත්තෙ නවත්තන්න බෑ අහුවෙනව. ඇය වෛද්‍යවරියක් නිසා  කොහොම හරි රජයේ පාලන පැත්තට ආවත් හමුදාවට ගිහින් මෙයාව බාර දෙන්න බෑ. ඒක කොටින්ට ආරංචි උනොත් තමනුත් ගෙදරත් ඔක්කොමල ඉවරයි. හමුදාවෙනුත් කරදර. ඔය ගැටළු වලින් බේරෙන්න ඇය ඔහුව කොහොම හරි මාතලේ පැත්තට ගෙනත් මෙහේ රෝහලක නවත්තනව.
ඔන්න හොහොම යන්තම් අපේ කතාවේ මාතෘකාව වෙච්ච නිලධාරියාගෙ පණ රැකෙනව. ටික දවසක් යනකොට යාපනේදී මැරුන කියල හිතපු කෙනා යුද්දේ ගෑවිලා නැති පැත්තක ඉස්පිරිතාලෙක ඉන්නව. දෙපැත්තේම බුද්ධි අංශයේ කස්ටියට ලජ්ජා සහගතයි. මොකවත් දන්නේ නෑ.
කතාව ඔහොම ඉවර වෙන්නේ නෑ. ගොඩක් ලස්සන වෙනව. කෙටියෙන්ම කීවොත් අර  වෛද්‍යවරිය යාපනේ දාල රජයේ පාලන පැත්තට එනව. ඒ විතරද අර නිලධාරියා තමුන්ව බෙර ගත්ත වෛද්‍යවරියත් සමග විවාහ වෙනව. ආදරේට ජාති භේද නෑ කියන්නෙ ඕවට.
කතා වල තිබ්බට ඇත්තටම මේවා  වෙනවද කියල හිතාගන්නවත් බෑ නේද.. ඔව් මේක ඇත්තම කතාවක්. මේ කතාව හමුදාවේ ගොඩක් දෙනා දන්නව. ඒ හින්ද පුද්ගලිකත්වය නැතිවෙන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ. මට හිතෙන විදියට අර හමුදා නිලධාරියා එහෙම නැත්නම් "මේජර් තල්ගස්වෙල" තවමත් හමුදාවේ වැඩ.
නමුත් මේ සිද්දියෙන් පස්සේ ඔහුගේ හමුදා ජීවිතය ගොඩක් හැලහැප්පීම් වලට ලක් උනා. උසස් වීම් ලැබුනේ නෑ. "එකපාරට යාපනේ කෙල්ලෙක් බැන්දේ කොහොමද", "කොටින්ගෙම ට්‍රික් එකක් ද" දහසක් ප්‍රශ්න. කොටින්ම හමුදාව ඔහුට පල නොකිය පලා බෙදුව. ජෙනරාල්තුමාත් ගෝඨාතුමාත් කොටි ගෑවිච්ච කවුරුත් ලගට ගත්තෙ නෑ. බලතල දුන්නෙත් නෑ.  එක අතකට ඒකෙ වරදකුත් නෑ. මොකද මුත්තයියා මුරලිදරන් හැරුනුකොට අනිත් හැම ද්‍රවිඩයාම කොටියෙක්දෝ කියල සැක කරපු කාලයක් හින්ද.
ම්ම්ම්ම්,,,,,, ඒ කාලේ ඉවරයි. යුද්ධයත් ඉවරයි. දැන් ලෝකේ පෙරලිලා. ජෙනරාල් හිරේ. කරුණා ජොලියෙ නයිට් ක්ලබ්වල. එතකොට කේ.පී, පොර ෆුල් කූල් එකේ කේක් කනව. පිල්ලෙයාර් තවත් මොකක්දෝ හුට්ටප්පරයක් කරගෙන... කොහොම කොහොම හරි  අපේ කතාවේ දෙන්නටත් දැන් කරදරයක් නෑ මගෙ හිතේ....
කවදාහරි මාතා එකේ "පාර්වතී" සහ "යෝගරාජා" වගේ මේ කතාව අල්ලල ෆිල්ම් එකක් ගහන්න බැරිකමකුත් නෑ.

මේ කතාව ලියන්න මතක් උනේ "මතක මංපෙත" නැත්නම් "අහස් ගව්ව"කියන බ්ලොග් එකේ ලිපියක් කියවනකොට. යුද්දේ සැගවුනු කතා වලට කැමති නම් "මතක මංපෙතත්"  අමතක කරන්න එපා.

11 comments:

  1. එ් දෙන්නට සුභ පතමි! :)

    අපටත් මේ දවස්වල ද්‍රවිඩ අයගෙ අැසුර නිතර ලබෙනව. කෙල්ලො වගේකුත් හිටිය. එ් අතරිං ටිකක් ප්‍රියමනාප කෙනෙක් හිටිය. එ් උනාට මට බෑනෙ! :(

    ReplyDelete
    Replies
    1. මොකද අලියට බැරි,, හික් හික්

      Delete
  2. ‍ෆිල්ම් එකට වැඩිය මරුනේ මේ ලව් ස්ටෝරිය...මේවගේ ඒවා කොච්චර උනාද...මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් උතුරේ වැඩ කරා හමුදාවේ නෙමේ.මූ එහෙ කෙල්ලෙක්ව බැන්දා කියලා ගෙදරිනුත් අයින් කරා..පස්සේ ඌ ගැන ආරංචියක් නැති උනා...යුද්දේ ඉවර උනාම ළමයි දෙන්නෙක් එක්ක ඌ ඇවිල්ලා අම්මලා බලලා යන්න..

    ReplyDelete
    Replies
    1. කොලෙකුට නම් ඔහොම එඩිතර තීරණ ගන්න පුළුවන් නමුත් කෙල්ලෙකුට අමාරුයි.

      Delete
  3. ඇත්තටම චිත්තරපටියක් කරන්න වටින කතාවක්.ආදරේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්.

    ReplyDelete
  4. ඒ දෙන්නට යසඉසුරු පිරි අනාගතයකට සුභ පතනවා...ෆිල්ම් වල තියන සුරංඟනා කතාවක් වගේ ලස්සන කතාවක්..මේ වගේ හිතන මිනිස්සු ඉන්නව නම් මේ ලෝකෙත් සුරඟනා ලෝකයක් වගේ වෙනවා නේද කියල හිතුන.......

    ReplyDelete
    Replies
    1. අනිවා වින්චැට්කිරිල්ලි., අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක

      Delete
  5. මේ වගේ තවත් කතා තියනවා. මාත් එක්ක එකට හමුදා සේවයේ යෙදී සිටි නිලධාරියෙක් වවුනියාවේ පොත් සාප්පුවක හිටිය ලස්සන දෙමල කෙල්ලක් එක්ක යාලු වුනා. පසුව විවාහ වුනා. විවාහය බොහොම රහසිගතව එහෙත් හමුදා නීතියට එකඟව සිදුකෙරුනා. ඔහුටත් නොයෙක් ප්‍රශ්න හමුදාවෙන් මෙන්ම ඒ දෙන්නගේ දෙපාර්ශවයෙන් ආවා. කෙල්ලගේ දෙමවුපියන් හිටියේ එල්. ටී. ටී. ඊ. පාලනය තිබුණු පැත්තේ. වවුනියාවට ඇවිත් තමයි දෙපාර්ශවය මුණගැහෙන්නේ බොහොම රහසිගතව. දෙයියන්ගේ පිහිටෙන් දැන් දෙන්න තුන්දෙනා වෙලා බොහොම සතුටින් ඉන්නවා. ඔහුත් දැන් මේජර් කෙනෙක්. ඔබ කියන කතාවේ නොකියූ තැන් මම දන්නවා. ඒවා අතීතයට ගියාවේ. ආදරය, අවබෝධය, මිනිස්කම, තමා වඩාත් වටින්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්,, කොහොම හරි යුද්දේ කචල් එක දැන් නැති එක හැමෝටම හොදයි.

      Delete
  6. ජාතින් වෙන් කර ගන්නේ මිනිස්සු . එහෙම නැත්තම් අපි ඔක්කොම මනුස්ස ජාතියනේ.
    ඒ දෙදෙනාගේ ජීවිතය සාර්තක වේවා !

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,